ගෙවල්වලට ගොඩ
වැදී ඡන්දහිමියන් හමු වූයෙමි.
‘ආහ්. සර්ලා
ගේමට බැහැල තියෙන්නේ. මොකෝ තකහනියෙ ෆෝම් පුරෝගන්නේ මේ පාර ඡන්දයක්වත් තියන්නද
හදන්නේ‘
‘අනේ ෆෝම් එක
තාම පුරෝලා නෑනෙ. කොහෙද මේ බෑන්ක් ෆීල්ඩ් එක ටිකක් ස්ට්‍රෙස්නෙ මහත්තයා. ගෙදර
ඇවිල්ල ඉන්න පැය දෙක තුනට ඔව්ව ගැන චුට්ටක්වත් කල්පනා උණේ නෑනෙ බලන්නකො. මට ඔය
ෆෝර්ම් එක තිබ්බ තැන මතක නෑ. පොඩ්ඩක් ඉන්න අපේ හස්බන්ඩ්ට කතා කරලා මං ෆෝම් එක
තිබ්බ තැන අහගන්න ඕනි. ෂැගී.... චිප්... කිව්ව නේද බුරන්නැතුව හිටපං කියලා.‘
‘මේ පුංචි ෆෝම්
එකේ ගෙදර හැමෝගෙම නම් ලියන්න ඕනිද? අනේ මට හරියට කියවලා බලන්න බැරි උණානෙ.. ආහ්.. එහෙනං ඒකේ
අපේ පොඩි දූගෙ නම දාන්න වෙනවානෙ. දූ... තාත්තට කෝල් කරලා ඔයාගෙ අයිඩින්ටිය තියෙන
තැන හොයාගන්න. අනේ ඇත්තද? ඒකට අපේ ඇස්
පේන්නැති අයියගෙ නම ලියන්න වෙනවනෙ එහෙනං. පොඩ්ඩක් ඉන්න. අයියා ඉස්සරහ කඩේ ගාව
ඇත්තේ. මං ඉක්මණට කවුරු හරි යවලා අයිඩින්ටි කාඩ් නම්බර් එක ලියවගෙන ගන්නං. අනේ
සොරි. ඒ ටික ලියලා දෙනකල් පොඩ්ඩක් ගෙට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ‘
‘මේ අපේ
පුංචිලාගෙ ෆෝම් එක. හැබැයි බාප්පයි පුංචියි දැන් මගුල් ගෙදරක ගිහිල්ලා. ආනේ. එයාලා
අත්සන් කරලා නෑනෙ. මං පුංචිගෙ අත්සන මේකෙ දාන්නද?‘
‘නෑ මිස්ටර්.
අපි මෙහෙ හිටියට අපි මෙහෙ ඡන්දෙ ලියන්නේ නෑ. මගේ ගමේ තියෙන ඉඩමට අයියලා එක්ක
නඩුවක් යනවා. ඒ හන්දා අපෙ අම්මිගෙයි මගෙයි මගේ වයිෆ්ගෙයි නම් දෙක ම ගමේ තියෙන
මහගෙදරින් තමයි අපි ලියන්නේ. ඔව්. දුවයි පුතයි මෙහෙ ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ. නෑ
නෑ. ඉඳලා හිටලා තමයි ගමේ යන්නේ. දැන් තාත්ති නැති උණාට පස්සේ අම්මිත් අපි එක්ක
ඉන්න හන්දා අපි ගමේ යන්නේ නැති තරං.‘
‘මොන රිසිට් එක
ද?.. අනේ ඔව්වා
කියෙව්වෙ නෑ අප්පා අපි. පොඩ්ඩක් ඉන්න. මට ඒක බබාලගෙ පොත් මේසෙ උඩ තිබ්බ වගේ මතකයි.
පොඩ්ඩක් බලල එන්නං.‘
‘කෝ කොතනද තව
අත්සන් කරන්න තියෙන්නේ. ඕං හරි. ආහ් මෙතන ද? මෙතන ද? එච්චරයිනෙ. හරිනෙ. හප්පා. මේ පාර තැන් කීයක
අත්සන් කරන්න තියෙනවද මහත්තයො මෙව්වෑ... අත්සන් ගහපු ගාණට හරියන්න ඉඩමක්වත්
සලාකයක්වත් දෙනවනං තව කමක් නෑ.‘
‘සර්. ඔව්. මේ
හස්බන්ඩ්ගෙ ගෙදර. අපි කසාද බැඳලා අවුරුදු පහක් විතර වෙනවා. බබා මෙහෙ පන්සලේ තියෙන
නර්සරි එකට යන්නේ. නෑ ඉතිං. මං අපේ මහගෙදරින් ලියාපදිංචිය අරං ආවෙ නෑ. එහෙ දැන්
කවුරුවත් නෑ සර්. අම්මලා ඉන්නෙ අපේ ලොකු අයියලගෙ ගෙදර. නුවර. මහගෙදර සම්පූර්ණයෙන්
කුලියට දීලා තියෙන්නේ. හා සර්. මං එහෙනං මේ අවුරුද්දෙත් මෙහෙමම තියලා ලබන
අවුරුද්දෙ මගේ ලියාපදිංචිය මේ ගෙදරට අරගෙන එන්නං. ආ.. ඇත්තද? එහෙම මාරු කරන්න
පුලුවන් ද දැන් උණත්?‘
ඒ අතර,
‘ආ මහත්තයා
ෆෝම් ටික. කොච්චර දෙයක්ද මහත්තයලත් අපේ ගෙවල්වලට එන එක. වෙනදට නම් ජීඑස් මහත්තයා
එනවා. අද ඒ එක්කම මැතිවරණ දෙපාර්තමේන්තුවෙම්ම ඇවිල්ලා. දුවේ. මේ මහත්තුරුංට
පෙන්නලා මේ ෆෝම් එක හරියට පුරෝලද බලාගනිං. මට ඇස් පේනව අඩුයි මහත්තයා. පොඩි එකී
තමයි පිරෙවුවෙ.. නෑ නෑ. අත්සන් කළේ මම තමයි. හෝව්. පොඩ්ඩක් ඉන්න මහත්තයලා. චූටි
පුතේ... එදා ජීඑස් මහත්තයා ඡන්ද කොළ දෙක එක්ක දීපු අර පොඩි රිසිට් එක ඇති මගෙ
ලාච්චුවෙ. ඒක අරං ඇවිල්ලා මේ මහත්තලගෙන් අත්සන් කරගනිං. ආහ්. උන්දෑ නැති උණානෙ ගිය
මාර්තු මාසෙ. ඇයි අපේ ජීඑස් මහත්තයත් මළ ගෙදර ආවේ. ඒ හන්දා අපේ ගෙදර උන්දැගෙ නම මේ
පාර දැම්මෙ නෑ. ලොකු දූගෙ මනාපෙට කසාදයක්
කරගෙන ගියානෙ. ඒ හන්දා ලොකු දූගෙ නමත් දැම්මෙ නෑ. අනේ එහෙම ආරෝවක් නෑ. ඒකි ඉතිං
දැන් මෙහෙ නෑනෙ. ඔන්නොය දෙහිඅත්තකණ්ඩියෙද කොහෙද කියන්නෙ ඉන්නේ. දැන් ළමෙකුත් හම්බ
වෙන්නේ. මං මේ පොසොන් එකට ළමයි දෙන්න එක්ක ගිහිං එන්න කියල ඉන්නෙ.‘
අපි රටක්
විදියට තව බොහෝ දුර යා යුතු ය.
ඉතින් මේ
සිදුවන සියල්ල ගැන පුදුම නොවෙමි. හෙට ලංකා අහසෙයි උදෑසන හිරු නැගීම පිළිබඳ ඉතා
දැඩි ලෙස සැක කරමි.