යාපනේ රාජකාරි කරන්නට යෑම වගේ ම දෙමළෙන් කතා කරන්න ලියන්න පුරුදු වීම වගේ ආසාවල් කවදා කොහේ තිබිලා හිතට ආව දේවල් ද මන්දා...
ඒත් පුහුණු කාලෙ අපේ බැච් එකේ කට්ටිය කොළඹින් යාපනේ යන්න බස් එකට නැග්ගෙ හැමෝගෙ ම මූණුවල සැකය, සාංකාව, කුතුහලය තියාගෙන...
ඒ වෙද්දි තිබිච්චි සමාජ සංසිද්ධීන් අනුව අපි ඉබේ
ම ඒ තත්ත්වයට පත් වෙලා තිබුණා...
මගේ පෞද්ගලික අත්දැකීම් එක්ක මේ කතාවෙ ඉතුරු ටික
ලියන්නයි ඕනි..
කොළඹින් බස් එකට නැග්ග මං එකදිගට මහරෑ වෙනකං
සිංදු කිව්වා... කියල කියල මහන්සි වැඩිකමට නින්ද ගියා.. ඒ නින්දෙන් ඇහැරෙද්දි මං
දැක්කේ පාර හරහා දාලා තිබ්බ තොරණක්... මොකක් හරි ඒකේ ලියලත් තිබ්බා මතකයි.. ඒත් ඒ ලියල
තිබ්බෙ දෙමළෙන් හින්දා මෙලෝ දෙයක් තේරුණේ නෑ...
කෝපායි ගමේ ඒ ගෙදර නැවතිච්චි දවසෙ ඉඳන් අන්තිමට
සන්දිලිප්පායි රස්සාවෙන් සමු අරන් කොළඹට එනකල් ම තිබ්බ හුඟාක් සංවේදනීය, හෘදයාංගම
සිදුවීම් එකින් එකට පෙළගස්සන්න මට අමාරුයි...
ඒත් මේ සිදුවීම් එක්ක මගේ ජීවිතේට එකතු වුණු
අලුත් සුවඳක් මාව හැමවෙලේ ම ඔසවා තබනවා..
මේ කතාකරන්නේ ආත්මාභිමානයකින්.. හෙන
පොරත්වයකින්.. සෑහෙන ගැම්මකින්.. ඒක සමහර විට ආත්මවර්ණනයක් කියල කියවන නුඹට
සිතෙයි.. වෙන්න පුලුවන්.. මට වර්ණනා කළ යුත්තක් මා තුළ ඇති බවක් ප්‍රථම වතාවට
හැඟිලා.. ඒ ආනන්දයත් එක්ක ලියන්න හිතුණා..
අපි රාජ්‍ය සේවයට ඇවිල්ලා කරන අනිවාර්ය එක්සෑම්
අතරට රාජ්‍ය භාෂා ප්‍රවීණතාව එකතු වෙලා තියෙනවා.. ඊබී විභාගවලට අමතර ව රාජ්‍ය භාෂා
ප්‍රවීණතා විභාගෙ පාස්වෙන්න අපේ ගොඩක් දෙනා මහන්සි වෙනවා අපි දකිනවා... අහනවා...
මමත් ලිව්වා... පාස් උණා... මගෙ ගොඩක් යාලුවොත්
ලිව්වා... පාස් උණා...
අපි හැබෑවට ම අනෙක් රාජ්‍ය භාෂාවේ ප්රවීණත්වයක් (අදාළ
මට්ටමෙන් හෝ) ලබා ගෙන තියෙනවද කියන එක මට නොඅසා බැරි ම ප්‍රශ්නයක්...
මං එක්ක වැඩකරපු ගොඩක් දෙනා දන්නවා මං සිංහල
මනුස්සයා එක්ක හොඳ සිංහලෙනුත් දෙමළ කතා කරන මනුස්සයා එක්ක දන්න තරමින් දෙමළෙනුත්
වැඩ කරන්න කැමතියි... මං එහෙම කළ යුත්තේ ඇයි?
අපිට ආත්මාභිමානය දෙන පළමුවැනි දේ අපේ නම... ඊළඟ
දේ හැටියට මං හිතන්නේ අපේ මවුබස...
මගේ නම වික්‍රම වෙච්චි... මට මගේ නම තියෙද්දි වෙන
නමකින් කතා කරොත් මට ගොඩක් අවුල් යනවා... මං සිංහල කතා කරන පවුලක උපන් එකෙක්
වෙච්චි... මට දෙමළෙන් හරි ඉංග්‍රීසියෙන් හරි වෙන බාසාවකින් හරි කතා කළොත් හෙන
අමාරුවක වැටෙනවා...
ඒ හින්දා මං සිංහලෙන් මාත් එක්ක ගනුදෙනු කරන
පුද්ගලයින්ට වැඩි කැමැත්තක් දක්වනවා... උන් එක්ක ඉන්න කොට කියා ගන්න බැරි සුරක්ෂිත
බවක් දැනෙනවා...
දෙමළ කතා කරන පවුලක උපන්න මං වගේ ම තව එකෙකුටත්
මේ වගේ ම හිතෙනවා ඇති කියල හිතන්න මං පුරුදු වෙලා ඉන්නවා... ඒ හින්දා ‘උඹ දෙමළ ද? අපි
දෙමළෙන් කතා කරමු..’ කියලා ප්‍රවේශයක් අරගෙන ඒ පුද්ගලයාගෙ කතාව අහං ඉන්න සහ හූමිටි
තියන්න මං උත්සාහ කරනවා...
මේ උත්සාහය කොයිතරම් දුරකට මාව ඔසවා තියෙනවාද
කියන එකයි මට උලුප්පන්න අවශ්‍ය වෙච්චි ප්‍රධාන ම දේ...
දැනට ෆෝන් එකට ආන්සර් කරලා කවුද කතා කරන්නෙ කියල
අහන්න අවශ්‍ය කරන දෙමළ භාෂාවෙ ඉඳන් දන්නා කියන සබ්ජෙක්ට් එකකට දිනක් පුරා වැඩමුළුවක්
පවත්වන්න අවශ්‍ය කරන දෙමළ භාෂාව දක්වා මට මැනේජ් කර ගන්න පුලුවන්...
ඒ වගේ ම රස්සාව කරන්න කරන්න යන තැන ‘ආ.. විකී
ඉන්නව නං දෙමළ භාෂාවෙන් අවුලක් ආවත් ප්‍රශ්නයක් නෑ... ෂේප් කරගත්තෑකි’ කියන
විස්වාසෙ ගොඩනගා ගෙන තියෙනවා...
මේ ඔක්කොට ම වඩා මං ගාවට එන මනුස්සයා කතා කරන
භාෂාව තවදුරටත් මගේ සේවය මනින්න නිර්ණායකයක් කර ගන්න අවශ්‍ය වෙලා නෑ...
තව ගොඩක් හදා ගන්න තැන් තියෙනවා... ලියන්න
කියවන්න තව ගොඩක් ඉගෙන ගන්න ඕනි.. හැබැයි මං මැරෙන්න කලින් මං ඔය දෙකත් සිංහල ගානට
ම හදා ගන්නවා... ඒක අමාරු නෑ කියල මට දැන් තේරෙනවා.. එක ම පසුබෑම මගේ කම්මැලිකම
මිසක් වෙන කිසිවක් ම නෙමෙයි...
මේ හැමදේ ම පිටිපස්සේ හිටිය අය කිහිපපොළක්
ඉන්නවා... කෝපායි ගමේ ජීඑස්... සන්දිලිප්පායි ගෙදර අම්මා අප්පා, සුදර්ශන්, ත්‍රිකුණාමලේ
සාමි අන්කල්, මුගුන්දන්, සතීෂ්, ඇනන්සියා... ඔය කිව්වෙ ඉතා ම කිහිප දෙනෙක්... තව
බොහොමයක් දෙනා ඉන්නවා... ඒ වගේ ම දැනට මගෙත් එක්ක වැඩ කරන තුෂී, ශ්‍රී, රූබි, මුරලි,
අච්චුදන් අයියා, ගෞරි එහෙමත් අමතක කරන්න බෑ... අදටත් මගේ වරදින දෙමළ හදලා දිදී මාව ගොඩදාන්නෙ ඔය සහෘදයින්...
සිංහල කතා කරන (මං දන්න තරමින් වැඩිය දෙමළ බැරි) කෙනෙකුත්
මේ පිටිපස්සෙ ඉන්නවා... ප්‍රදීපා මැඩම්... මගෙ අවශ්‍යතාව දැනගෙන මාව කෝපායි යවන්න,
සංන්දිලිප්පායි යවන්න, ත්‍රිකුණාමලේ යවන්න මැඩම් ගොඩක් මහන්සි උණා... හොයලා
බැලුවා... ඒ සමහර තීරණ කොයිවෙලේ මං ගැන කල්පනා කරලා ගත්තු තීරණ ද කියල හිතාගන්න
බැරි තරම් ඉතා විවාදාපන්න සහ තීරණාත්මක තීරණ... ස්තූතියි මැඩම්... මං මාර පොරක්
කියලා මට ඇහෙන හැම මොහොතක ම මැඩම්ට ලැබිය යුතු ගෞරවාන්විත උත්තමාචාරය මගේ හිතේ
පතුලෙන් ම මතු වෙනවා...