Tuesday, April 30, 2013

වෑන් එකක සද්දයක් ඇහෙනවා.....

මෑතකාලීන ඉතිහාසයේ හොර මැර පිරිස් ජනතා නියෝජිතයන් ලෙස පත්වීමට හේතුව බහුතරයකගේ කැමැත්ත නොව සුළුතරයකගේ නිහඬ බවයි...
එම බහුතරය කිසිදු දෙයක දී දෙවැනි වතාවක් නොසිතන තරමට අවංක, ඉතා ඉක්මණින් අන් අය විශ්වාස කරන, ඉතා ම අහිංසක බලාපොරොත්තු ඇති, සමත් වූ විභාග ගණන අඩු නිසා ම සමාජාවබෝධය නැතැයි හංවඩු ගැසුණු පිරිසයි...
සුළුතරය ඕනෑ ම දෙයක දී වරක් දෙවරක් නොව දහස්වරක් සිතන (එබැවින් වංක යැයි වරෙක සමහරෙකු කියන), ලෙහෙසියෙන් කෙනෙකු විශ්වාස නොකරන, ඉතා දීර්ඝකාලීන වූ බලාපොරොත්තු ඇති හෝ සියලු බලාපොරොත්තු සුන් කරගත්, විභාග ඉතා වැඩි ප්‍රමාණයක් සමත් ව සමාජාවබෝධය ඇතැයි සමාජය විසින් පිළිගත් කොටසයි...
නමුත් හොරුන්ට පත්වීම් අවස්ථාවක දී සිය පැවැත්ම සඳහා අවශ්‍ය වන්නේ සුළුතරයේ අවධානය නොව බහුතරයේ කැමැත්තයි...
බහුතරයක කැමැත්ත නින්දිත ලෙස පාවිච්චි කෙරෙන ආකාරය වෙත සුළුතරයේ නිහඬ බව ඉතා ක්‍රෑර ලෙස තර්ජනාංගුලිය දිගු කර සිටියි... නමුත් ඉන් සිදු වන්නක් නොමැත....
මෙකී නිහඬ බව අතහැරි යමෙකු වේ නම් ඔහු සුළුතරයෙන් වියුක්ත වූවෙකු ලෙස සැලකේ. එසේ වූ විට ඔහු වටා කුමන පරිසරයක් ගොඩනැඟේද යන්න අමුතුවක් නොවේ.. ස්වයං වාරණයකින් නිහඬ ව සිටි ඔහුගේ හඬ මර්දනය කිරීමට හොරු වහා සිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනු ඇත... හොරුන්ට බිය ඇති කරගැනීමට අවශ්‍යතාවක් නැත්තේ බහුතරය තමන් වෙත තැබූ විශ්වාසය නැවත රැක ගත යුතු වන්නේ ඊළඟ පත්වීම් අවස්ථාවක දී පමණක් වන බැවිනි. නමුත් ඒ වන විට බහුතරයට සියල්ල අමතක ව ගොස් ඇති බව හොරු දනිති...
කෙසේ වතුදු සුළුතරයෙන් වියුක්ත වූ තැනැත්තා අවසානයේ දී නැවතත් නිහඬ කරනු ලැබූවෙකු බවට පත් වනු ඇත... මෙම නිහඬ බව සමාජයෙන් පිළිගත් හෝ, සමාජ පැවැත්මට උපකාරී වන්නක් හෝ නොවනු ඇත...
එබැවින් සුළුතරය මෙම දෙවැනි නිහඬ බව, නොහොත් නිහඬ කරවීම කෙරෙහි ඇති දැඩි අකැමැත්ත නිසා ම පළමුවැනි නිහඬ බව උතුම් කොට සලකති... හෙවත් විභාග සමත් වූ පමණින් ම සමාජාවබෝධය ඇතැයි පිළිගැනීම සත්‍යය නොවන බවත් එසේ හෙයින් සමාජය කෙරෙහි සැබෑ ආදරයක් සුළුතරය තුළ නොමැති බවත් තහවුරු කරති...
අවසානයේ නිහඬ බව විසින් විනාශ කරනු ලබන්නේ සුළුතරය පමණක් නොව බහුතරය ද ඇතුළු සමස්ත සමාජ දේහය ම ය... රැකෙන්නේ තව තවත් හොරුන් ම ය..

Monday, April 29, 2013

බිස්කට් ඇඩ් එක, නුඹ සහ මම

.
බස් එකක යද්දිත්
කාගෙන්දෝ අහගත්තු උපදෙසකට
අනේ මං
අහක බලං හිටියා
අත්කොට හැට්ට දිහා නොබලා ම...

උදව්වක් ඉල්ලපු හැමට ම
උදව් කළා මං
කාගෙන්දෝ අහගත්තු උපදෙසකට
හැන්දෑවට සමර් හට් එකකට
එන්න නොකියා ම...

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ සුරම්‍ය බව
නුඹත් එක්ක අකුරුකරන්නට
රැයවල් කීයක් නම්
ගත කළා ද නොපහන් ව...

ඒකයි වැරැද්ද...

නැත්තං මටත්
හරි ලේසියට රහ බලන්න තිබුණා
වැඩිපුර රහ ඇති
ඊළඟ කෑල්ල
කිසි ම අපුලක් නැති ව ම
නංගියෙ
නුඹ ගැන නොහිතා ම....

භාවනාවක් වගේ
උඹ ගැන හිතං හිටි සුනංගුවට
නුඹට
රහවෙයි කියා ඊළඟ කෑල්ල
හිතිච්චි හිත හැංගුවාට
ඔහොම වෙලා ඇත්තට ම මදි නේද
මට ???


-ව්කියා-







මං ජපුරෙ....

‘වික්‍රම
දැන් තනියෙම හිටියා ඇති
හොඳ බර තියෙන අත්තක් බලල
හේත්තු වෙමු නේ???‘

අනේ කොයිතරං විහිලුවක් ද ජීවිතය...

අපේ ම පුංචි ගෙදරක
පුංචි පැටවු තුන්දෙනෙක් එක්ක
උදේට කුරුලු කිචිබිචියත්
රෑට රෑ හඳපානත්
හිතේ හැටියට විඳගන්න
බලං හිටිය අපි දෙන්නට වෙච්චි දේ...

නංගිට දැන්
ගෙදරින් කටයුත්තක් හොයනව ඇති...
මටත් හැමෝ ම පරස්තා හොයනවා...

අපි මෙතන නවතිනව කියල
ඩිංගිත්තක්වත් හිතුණා නං..
මමත් අද
වියත් සබා මැද සමාජසීලි....

මට ඒක නැති කළේ මගේ ආදරය ද?
මට එහෙම හිතන්න බෑ...

මං එදත් වියත් සබා මැද සමාජසීලී....

එක ම දේ
මගේ වියත් සබාවෙ
මගේ පණ - ඒ ඔයා - නෑ...
මට ඒ සබාවෙ
සමාජසීලී වෙන්න
පුදුම අමාරුයි නංගි....

එන්න...
එකවතාවක්
හුළඟක් වගේවත්
ඇවිත් යන්න එන්න...

Sunday, April 28, 2013

ඉන්විටේෂන්...


අන්තිම දවසෙත් මං ඇහුවෙ ඔයාගෙන්
මෙච්චර දවසක් මට කිව්ව කතන්දර බොරු ද???
ඔයා ලේසියෙන් කිව්වේ
‘ඔව් ඔයාට ඕනිනං එහෙම හිතන්න‘
-ඒකත් මට ඕනි නං-
මට ඒක ඔයා තරං ලේසියට
මගේ හිතේ අසල්වැසියන්ට කියන්න අමාරුයි නංගි...

අපි ඇවිදං ආපු ලව්ලේන්වල
ආයෙම අනිත්පැත්තට හැරිලා යන්න සිද්ද උණත් කමක් නෑ...
ඒ යද්දි
අපේ පිටිපස්සෙන් ඇවිදං ආපු උන්
මගෙන්
‘මොකද අද තනියම‘ කියල අහද්දි
මං කොහොමද කියන්නෙ
ආයෙ නංගි එන්නෙ නෑ කියලා මගෙත් එක්ක....

අපි දෙන්න එක්ක ම එකට
බශා එකේ වාඩි වෙලා
නලමුදු සුවඳ බලපු
පෙම්වත් ජෝඩුවක්
අදත් මට ඉන්විටේෂන් එවල තිබ්බා...
උන් තාම දන්නැතුව ඇති...
වරහන් ඇතුළේ ‘උඹල දෙන්නට ම‘ කියලත්
ලියල තිබ්බා...
යම්දෝ නොයම්දෝ....

උන්ගෙ මඟුල්වලට
අපේ පැටව්
මල් කුමාරයො කුමාරියො කරන්න
කප්පරක් හීන
ඔයාටත් හොරෙන් හිතේ තියං හිටිය මට
ඔහොම වෙලා මදි නංගි....

Saturday, March 30, 2013

දිලිසෙන ඇස් ඇති රුවැත්තිට....

හැම හීනෙක ම නුඹ ඇවිදින් රහසේ ම
කඳුලක් තියා පොළියට හීනේ අගට
හිනැහී මට ඔච්චමට ඇස් අග බැල්මෙන් ම
නික්මෙන හැටි ඔබිනවද නුඹෙ ලස්සනට....

හඳ නැති රෑක අහසේ මුලුවසං හිඳ
තරු නෙත් කැලුම් දී වෙහෙසා මගෙ හිත ම
හත්දින්නත් තරු මැදට වී මට බෝ දුරක
බැස යද්දී දුකයි එළිවෙන්නත් පෙර ම....

හුළඟක් හමද්දිත් ගහකොළ නමාගෙන
මට සැක නුඹ එහෙමවත් මේ අහ ඇවිදින්ද?
පාටක් ගඳක් නැති ලෝකය දැක්කා ම
හිත පෑරෙන්න මා රිද්දයි කාංසිය...

රිද්දන නහරවැල් එක එක තෝරගෙන
ගණංකාර නුඹෙ අරුමැති කෝළ හිත
අරගෙන යන්න දෙනවද ටික දවසකට
මුළා වෙන්න ආසයි ඒ හිත එක්ක....
-විකියා-
 

Monday, February 11, 2013

යුක්තිය - යුතුකම් සොයා පියඹමු..




බඩුමිළ, ඉසෙඩ්-ස්කෝර්, රිසානා, හලාල්, බාලතෙල් එක්ක අනෙක් ඔක්කොම රටේ දැවෙන ප්‍රශ්න එක් පැත්තකටත් සුජාත දියණිය අනික් පැත්තටත් දාලා මැනල බැලුවොත් සුජාත දියණිය බර වැඩි ජාතික ප්‍රශ්නයක් වෙච්චි හැටි පහුගිය ටිකේ ම බුකියේ සැරිසරද්දි මං ඇහුවා දුටුවා...

මේ ගැන මට තියෙන අදහස ගැන මට ම ලොකු විවේචනයක් තියෙනවා... ඒ මං චංගුමී ගැන කතා කරන්න අයිතියක් තියෙන එකෙක් නොවීම... මුල ඉඳන් මං මේක බැලුවේ නෑ... අහම්බෙන් නාලක අයියගෙ සහ මයුරි අක්කගෙ විවරණවලින් පස්සේ මමත් මාස දෙකක් පමණ මේ නාට්ටිය බැලුවා... ඒ කාලය තිස්සෙ නාට්ටිය මඟ ඇරුණේ ඕනිනං කොටස් පහකටත් අඩු ගාණක් නොවැළැක්විය හැකි හේතු හින්දා... ඒ තත්වෙ හින්දා මේ අදහස් දැක්වීම ගැන මට ම මුල පිරීමේ දී කරුණක් කියන්න ඕනි... නාට්ටියෙ චරිත ගැන අදහස් දක්වන්න මං පෝසත් නෑ...

නාලක අයියා ඕනෑ ම දේකට හොඳ හෝ නරකයි කියල කියද්දි සෑහෙන දුරකට ඒ ගැන හොයා බලන එකත් මේක බලන්ට කියල මාව පොළඹවාපු එකක් වග නොකියා ම බෑ.. අන්තිම අන්තිම හරියේ දී මං තමයි නාලක අයියටත් සමහර එපිසෝඩ් මුල හිට අගට කිව්වෙ... අනික මගේ තවත් යාලුවෙක්. මයුරි අක්කා.. ඒකි හොඳ පොතක් හම්බ උණත්, හොඳ චිත්තරපටියක් ආවත්, හොඳ මනුස්සෙක් හම්බ උණත් මට කතා කරලා ආස්සරේ කරල බලපන් කියන ජාතියෙ කෙනෙක්.. සුජාත දියණි ගැන හොඳ රෙකමන්ඩේෂන් එකක් දුන්නා ඔක්කොම හෙවිලි බැලිලිවලින් පස්සේ... ඒක සුජාත දියණිය බලන්න මට ආසන්නතම හේතුවක් උණා...

සුජාත දියණි බලන්න පටන්ගන්න කාලෙ ම බුකිය හරහා ඉතා විශාල සුජාතාදියණි විරෝධීන් පිරිසක් තමන්ගෙ සටන ව්‍යප්ත කරන්න පටන් ගත්තා.. ඒ වෙනකං තිබ්බ හැම ප්‍රශ්නයක් ම යටපත් කරගෙන සුජාත දියණිය බලන්නන් දුටු තැන මරා එල්ලන්නට තරං වෙච්චි ආරෝවක් ඒ හැම පෝස්ට් එකක ම මං දැක්කා.. ඇත්ත ම කියනවනං මට සුජාත දියණි නොකඩවා බලන්න මේ තහංචි රැල්ලත් ඍජු හේතුවක් උණා... මට ඕනි උණේ මේක මේ කියන තරං ජරාවක් ද එහෙම නැත්තං මේ තරං කියවන්න දෙයක් ද කියන එක මට ම පත්තියං කරගන්න...

සුජාත දියණි නාට්ටිය බලන හැම දාට ම මට මතක් උණේ පොඩි කාලෙ මං බලාපු ඔෂීන් ටෙලිය... කොටස් බරගාණක් තිබුණු ඒ කතාව පොඩි ම පොඩි කාලේ බැලුවට ආයෙ කවදාවත් බලන්න හම්බ උණේ නෑ. අපේ ගෙදර ටීවී එකක් නොතිබිච්ච හින්දා අහල පහල ගෙවල්වලින් උණත් හැමදාම බලල මතක තියාගන්න තරං මං ඔෂින් බලල නෑ... ඒත් ඒ කතාවෙයි මේ කතාවෙයි ආකෘතිමය එකඟත්වයක් තියෙනව කියල බලන බලන හැම කොටසකින් ම මං දැක්කා...

එකක් මේ කතා දෙකේ ම අපේ ටෙලිනාට්ටිවල දකින්ට නැති විදියේ සංයමයකින් චරිත හැසිරීමක් දකින්ට තිබුණා.. අපේ නාට්ටිවල ගොඩක් දුරට දකින්ට තියෙන කලබලකාරී ගතිය වෙනුවට ගොඩක් උද්වේගකර වේලාවක උණත් ආචාරශීලි සතර අභින භාවිතයක් මේ නාට්ටි දෙකේ ම තියෙනවා.. ඒ හින්දා වෙන්නැති මං මේ කතාව බලන හැම වෙලේක ම මට එක සමාන ගතියක් තේරුණා..

අනිත් එක සංස්කෘතික සමානරූපිතාව... කොරියානු ජපන් සංස්කෘති කියන්නේ එකිනෙකාට මහා වෙනස්කං තියෙන සංස්කෘතින් නෙමෙයි. ඥාතී සංස්කෘතීන්. ඉතිං මේ නාට්ටි දෙකෙත් ඇඳුම, කෑමබීම, ආචාරක්‍රම වගේ ගොඩක් දේවල සමානකමක් දැක්කා.. ඒක අපේ රටේ පවතින දේවල්වලට ආගන්තුකයි... නමුත් ඔෂින් කතාවෙ අපිට වැඩි ඈතකාලෙක වෙච්චි දර්ශන නොතිබුණත් සුජාත දියණිය වටේ තිබ්බ ගොඩක් දේවල් කොරියන්කාරයොන්ටත් මතක නැති ඈත අතීතෙ කතන්දර...

අපේ සමාජය මේ කතන්දර දෙක බාරගත්තු විදිය ගැන මට තියෙන්නෙ පුදුමයක්... ඒක කාලෙ වැරැද්ද කියලත් මට වෙලාවකට හිතෙනවා... ඔෂින් සමාජගත වෙනකොට තිබ්බ සමාජය විකෘති නොවූ රසවින්දනයක් සහිත අවසන් පරම්පරාව විදියටයි මට පේන්නේ.. නමුත් සුජාත දියණිය අවතීර්ණ වෙන්නේ හැම පැත්තෙන් ම ජරාජීර්ණ වෙච්චි ලාංකීය සමාජයකට... ඒ හින්දා මේ කතා දෙක අපේ සමාජය භාරගත්තේ දෙවිදියක සැලකිල්ලකින්... ඔෂින් සමාජගත වෙද්දි පංතිකාඩ් ක්‍රමයක් නොතිබිච්චි හින්දා ද කොහෙද කවදාවත් අපේ පංති කාඩ් එකක් ඔෂින්ගෙ රූපයකින් හැඩ උණේ නැහැ.. අනික ඔෂින්ගේ ඇඳුම් තමන්ගෙ දියණියන්ට මහන්න කියාදෙන පත්තරත් ඒ සමාජය ඇසුරු කළේ නැහැ.. නමුත් චංගුමී සමාජයට ඇතුළත් කරගන්නේ ම මහා වෙළෙඳ භාණ්ඩයක් විදියට.. මං ආදරේ කරපු සමහර සහෝදරයො තමන්ගෙ අධ්‍යාපන ආයතන ප්‍රවර්ධනය කරන්න චංගුමීගෙ රූපය දාලා පෝස්ටර් ගහද්දි උන් යාලුවො නෙමෙයි හොරකඩකාරයො කියල හිතන්න තරං මට අවුල් ගියා... මං ආදරය කරපු චරිත දෙකක් මේ විදියට දෙවිදියකට සමාජගත වීම චරිතවල අවුලක් නෙමෙයි සමාජගත වූ සමාජයේ වැරැද්ද කියල මං හිත හදාගත්තේ ඔය වගේ දේවල් එක පිට පිට මං දකිද්දි... වතුර උණත් තමන් දාන භාජනේ හැඩය ගන්නවා කියන උපහැරණෙ මෙතනට ගැළපෙයි කියලයි මං හිතන්නේ...

චංගුමීට මේ තරං වෛරයක් ඇතිවෙන්නේ පුද්ගල ආකල්ප හින්දා මිස චරිතයේ කිසි ම අඩුවක් හින්දා නෙමෙයි කියල මට තේරුණා... චංගුමී ගැන ගෑණු කියවද්දි අපේ කාලෙ පිරිමි බොහෝමයකට ඒ ගැන අහං ඉන්න බැරි උණා.. ඒකෙත් තියෙන්නේ ආයෙමත්, චංගුමී ගැන ගෑණු කියවීම සහ ඔෂින් ගැන ඒ විදියට ගෑණු නොකියවීම කියන වෙනස විතරයි... චංගුමී දිහා බලපු ගෑණුන්ගෙ ඇස් සහ ඔෂින් දිහා බලපු ගෑණුන්ගෙ ඇස් වෙනස්... සහ ඒ ගෑණුන්ගේ කතා අහං හිටි පිරිමි කන් පරම්පරා ගැප් එකට තදින් අහුවෙච්චි එව්වා.. ඒ හින්දා තත්ත්වය වඩා බරපතළ උණා කියලා මට දැනෙනවා... නැතුව මේ තරං චංගුමී එක්ක තරහ වෙන්න ලංකාවේ පිරිමින්ට අවශ්‍යතාවක් නෑ...

සුජාත දියණියගේත් ඔෂින්ගෙත් මං දකින අනිත් සමානකම හඬකැවීමෙදි අපේ දක්ෂකම... ඒ ඒ චරිතවලට හැබෑවට ම පණදෙන කටහඬක් තෝරාගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.. නමුත් ඒක එහෙම නැතෙයි කියන්න පුළුවන් ජාතියෙ නිර්මාණයක් තාම මං දැකල නැති හින්දා ඒක ගැන වැඩිය කතා කරන එක සුදුසු නෑ වගේ...

සුජාත දියණි එකේ භාෂා භාවිතය ගැන නං අනිවා කතා කරන්න ඕනි.. නිර්මාණයක් විදියට සුජාත දියණි නාට්ටියේ සමාජ පසුබිම එක්ක මේ භාෂාව භාවිතය ඉතාමත් මොළේ ඇති වැඩක් විදියට මට හිතුණා.. මොකද අපේ කාලේ ම අය කරන සමහර රජ කතා, ඓතිහාසික කතාවලත් මේ උපක්‍රමේ ම පාවිච්චි කරනව අපි දැකල තියෙනව... ලියන බාසාවට ගොඩක් දුරට සමාන උණාට මේ බාසාව කතාවට ගොඩක් දුරට ගැළපුණා දිගට ම... මට එක අතකට හිතෙනවා මේ සංයමයක් තියෙන බාසාව අද කාලෙ කට්ටියට නොපෑහුණාවත් ද කියලා.... ඒක එහෙම නොවී තියෙන්නත් විදියක් නෑ අද ජනප්‍රිය වෙන ගීත සාහිත්‍යය දිහා බලද්දි...

නාලක අයියා මේ කතාව බලද්දි ම මට දීපු කොමෙන්ටුවක් මේ අදහස් හුවමාරුව අන්තිමට එක් කරන්න කැමතියි... ඔෂින් කතාව එක්ක බලද්දි සුජාත දියණි කුතුහලෙත් එක්ක බලන්න පුළුවන් කතාවක්... ඊළඟට මොකක්ද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියල කුතුහලෙන් ඊළඟ දවස වෙනකං අපි බලා ඉන්න තැනට සුජාත දියණි සාර්ථක නිර්මාණයක් උණා... ඒ වගේ ම ඔෂින් කතාවෙ වෛරය, කුහකකං වගේ ම ගැරහීම් ඒ තරමට ම නැතත් සුජාත දියණියහි චංගුමී හැම අවස්ථාවක ම වෛරයට, කුහකකම්වලට සහ ගැරහීම්වලට ගොදුරු වෙනවා..
නාලක අයියා දැකපු මේ වෙනස ඇත්තට ම චංගුමීට ආදරය කරන්නට මා පොළඹවපු තවත් එක් සාධකයක්.. රජගෙදර කුහකකං සහ වෛර සමඟ එක් තනි ගැහැණු දැරියක් අතිශය සාර්ථක ගනුදෙනුවක් පවත්වන විදිය සුඛාන්ත විදියට නිර්මාණය කරන එක වර්තමානයේ අපිට මහා අත්වැලක්.. මං එහෙම හිතන්නේ මේ දේශපාලන ක්‍රමයේ දී ත් ආර්ථික පරිසරයේත් ඒ එක්ක ම සමාජ ක්‍රමයේත් ලංකාව තුළ වෛරයන්, කුහකකං අපිට ඒ තරං අරුමයක් නෙමෙයි හින්දා.. ඒවට මුහුණ දෙද්දි චංගුමීට තරමට හැමදේ ම හොඳ ම විදියට නොවුණත් සමහර විට ඒ චරිතය කාට කාටත් හොඳ පූර්වාදර්ශයක් කරගන්න පුළුවන් චරිතයක්.. වැදගත් ම දේ මේ චරිතය හිතලුවක් නෙමෙයි.. චංගුමී කියන්නේ කොරියාවේ බිහි වූ ප්‍රථම ශල්‍ය වෛද්‍යවරිය එහෙම නැත්තං සර්ජන්...

අපේ සමාජය හැම වෙලේ ම හැම හොඳ දේ ම ඉතා ම ආදරෙන් බාර ගන්නේ නැති බව ඇත්තයි... හැබැයි ඒ වගේ ම සමාජයේ ප්‍රතිචාර හැම වෙලේ ම යහපත් නිර්මාණ එල්ල කරගත්තු නිර්දය විවේචන පමණක් ම නොවෙන බව මතක් කළ යුතුමයි... මොකද ‘මහගෙදර‘ ඇතුළු බොහොමයක් මෙගා ටෙලි නවතින්න යම් පමණකට සමාජ විරෝධයත් හේතු උණා කියල මට හිතෙනවා.. ඒත් එක්ක ම මේ විරෝධය යම් දෙයකට එල්ල නොවේ ද ඒ වටින නිර්මාණයක් නොවේ ය කියල හිතාගෙන සමාජ විරෝධය අවබෝධ කරගන්නට උත්සාහ කරන එකත් සාර්ථක නෑ... මොකද ඔය කියන සමාජ විරෝධය අත්‍යවශ්‍යයෙන් ම ටාගට් වෙන්න ඕනි වෙලා තියෙන්නේ බොහෝ නාලිකාවල 7 - 9 බෙල්ට් එකේ යන සීනිබෝල ආදර කතාවලට. නමුත් කොයි කවුරුවත් අඩු ම තරමෙ බුකියෙවත් මේ ගැන කතාවක් නැති එක අරුමයක් නෙමෙයි ද???

අන්තිමට කියන්නේ මං ඔෂීන්ටත් වඩා චංගුමීට ආදරය කරනවා..

-වික්ස්-

Saturday, February 9, 2013

මා මළ පසු ව උන් සුවඳක් දැනුණාවේ...

උදේ ම නැගිට්ට හැටියෙ යාලුවෙකුට කෝල් එකක් ගත්තා...

මචං මොකෝ ලයින් එක.. අද පරසතුමල් බලනවද??

මං බැලුව මචං කළින්.. අද බලන්න වෙන එකක් නෑ.. ඒත් උඹ අනිවා බලපං.. ගාමිණී ෆොන්සේකාගෙ පට්ට ඇක්ටින් ටිකක් තියෙනවා... බැලිය යුතු ෆිල්ම් එකක් මචං..

ඕකේ බායි මචං...

අපේ තාත්තල කොල්ලො කාලේ බලපු පික්චර් ගැනත් ඔය විදියට ම කතා වෙන්න ඇති.. පාවිච්චි කරන වචනවල මොනා හරි වෙනසක් තිබුණත් නැතත්, අපේ තාත්තත් ඔය විදියට ම කමෙන්ටුවක් දෙන්න ඇති සමහර ෆිල්ම්වලට...

පරසතුමල් චිත්‍රපටය නරඹලා මට හිතුණ දේ ගැන කියන්න කල්පනා කළේ හා හා පුරා කියලා මං මේ බ්ලොග් එකට ලියන කුළුඳුල් කතන්දරේනුත් ඒ නිර්මාණය කරපු මිනිස්සුන්ට ගෞරවයක් වෙන්න කියලා හිතාගෙන... (මගේ පළවෙනි පෝස්ට් එක මීට කළින් බුකියෙ දමාපු එකක්...)

බොනී මහත්තයා -
නෂ්ට වේ ගෙන යන වැඩවසම් ක්‍රමයක සංකේතයක් කියල බැලු බැල්මට පෙනෙන විදියට ගොඩ නඟපු මේ චරිතය ඇතුළෙන් උඹෙත් මගෙත් හිත් ඇතුළේ සිටිය හැකි ජාතියෙ අති සංවේදී ජීවියෙක් මතු වෙන්නේ අපි නොහිතන විදියට.. විස්කි, සිගරට්, ළමිස්සියන්ගේ තොල් එක්ක සෙල්ලං කරන මේ හාම්පුතා සතු ව ඇත්තේ කළු පාට ම පමණක් නොවන චරිතයක් කියල අපිට හැඟෙන්න පටන් ගන්නකොට හීන් ආදරයක් බොනී මහත්තයා ගැන ඇති වෙනවා... ඒක හරියට ම ටච් කරන්නේ චිත්‍රපටයේ ම තවත් චරිතයක්.. ඒ බොනී මහත්තයාගේ අහිමි පෙම - කමලා..

කමලා - මහත්තයා, අමාරිස්ටත් වඩා මං මහත්තය ගැන දන්නවා.
බොනී - කෙල්ලෙ උඹ කොහොමද මං ගැන දන්නේ?
කමලා - ඒක මං දැනගත්තේ මහත්තය ගොයම් කොළේට ගිනිතියාපු දවසෙමයි...

බොනී මහත්තයා අපි අතරත් ඉන්න සමහරුන්ට හුඟක් ළඟ චරිතයක්.. පුරුද්දක් විදියට මං මිනිස්සු ආශ්‍රය කරද්දි සමහරු දුටු පමණින් එපා වෙලා අතෑරලා දාන චරිත.. නමුත් ඒ මිනිස්සු අහම්බෙන් හරි ආශ්‍රය කරන්න චාන්ස් එකක් ලැබුණා ම උන්ගේ ලස්සන හිත් අතපතගාන්න හම්බ වෙනවා... ඒ එක්ක අපේ චරිත විග්‍රහයන් ගැන ම නැඟෙන්නෙ පිළිකුලක්...
මේ චරිත විග්‍රහය එක්ක ම බොනී මහත්තයා දිහා බලාපු මටත් අන්තිමට බොනීගෙ මරණය වෙනකං ම ටිකෙන් ටික වැඩෙන පැළයක් වගේ බොනී ගැන ආදරයක් ඇති වෙනවා.. අවසානයේ මගේ මුලින් සඳහන් කළ පිළිකුල මිශ්‍ර කළකිරීම චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසින් ම අකාමකා දැමීමට උත්සාහයක් දරනවා.. (එත් පුද්ගලික ව මටවත් මගේ චරිත විග්‍රහය ගැන ඇති වෙන කළකිරීම ලේසියෙන් මකන්න බෑ...)

ගාමිණී ෆොන්සේකා -

 
ලංකාවේ සමාජය විසින් මරා දැමූ තව වසර ගණනාවක් ජීවත් විය යුතු ව සිටි මනුස්සයෙක්.. කාලයක් මං දැනට ඉන්න පළාතෙ ආණ්ඩුකාරවරයා විදියටත් වැඩ කරලා හොඳ වැඩ රැසක් කරා කියල ආදරෙන් සිහිපත් කරන මිනිහෙක්.. ඒත් නිහඬ ව මැරුණා.. චිත්‍රපටය අන්තිමට කෝල් එකක් ගත්තු යෙහෙළියක් කිව්ව වගේ ‘උගෙන් අපේ ෆිල්මිං ෆීල්ඩ් එක වැඩක් ගත්තෙ නෑ බං..‘ (මං එතකොටයි දන්නේ මේක ගාමිණී ඉතා ලාබාල වියේ කළ අධ්‍යක්ෂණයක් කියලා. අත්දැකීම් එක්ක ගාමිණී අත්කරගත් දැනුම භාවිත කරලා පස්සෙ කාලෙක මීට වඩා සුපිරි ෆිල්ම් එකක් කළා ද කියල මට සැකයක් තියෙනවා.. දන්න අය උදව් කරන්ටලා...)..

කමලා -
කමලා චිත්‍රපටියේ දැවැන්ත චරිතයක් කියල බැලු බැල්මට පෙනුණත් මට කමලාගෙන් පෙනෙන්නේ ඉතා ම සාම්ප්‍රදායික ගමේ ගැහැණු ළමයෙක් විතරයි... ප්‍රතිපත්තිමය ප්‍රේමයක් විශ්වාස කරන, අම්මාට තාත්තාට සුවච කීකරු, ගමේ හයිකාරයෙක් ගෙට පැමිණෙන විට දුවගොස් කාමරයට වැදී දොරරෙද්දෙන් හොරෙන් බලා සිටින, ළිඳ ළඟටා යන්න එපා කබරගොයා කයි කීමට තරම් හිත්දෙන රූ සපුවක් ඇති ගැමි කෙල්ලක් කමලාගෙන් මට පෙනුණා.. ඒත් පිටපත විසින් ඒ කෙල්ල මහඅම්මණ්ඩියකටත් නැති තරම් පිරිපුන් චරිතයක් බවට අන්තිමට පත් කරනවා... බොනී මහත්තයා හඳුනාගැනීම එහි උච්චතම අවස්ථාවයි කිව්වොත් මගෙ හිතට එකඟයි...

සිරිසේන සහ අමාරිස් -

සාම්ප්‍රදායික වැඩවසම් ශ්‍රී ලාංකීය සමාජයේ හාම්පුතුන්ගේ සුරතලුන් දෙදෙනෙක්.. එක් අයෙක් බංගලාවේ ම ඉපිද එහි ම මිය යන අති සුන්දර මනුෂ්‍යයෙක්.. අනෙකා මෙම වැඩවසම් චාටර් වැඩවලට එදිරි ව යන පුද්ගලයෙක්.. ඒත් මේ දෙවැන්නා මානුෂීය හැඟීම් නිසා ම එදිරිවීමේ ක්‍රියාමාර්ගය නිහඬතාවක් බවට පත් කරගන්නවා අවසානයේ දී.. අමාරිස් නම් වූ මේ පළමුවැන්නා වැඩවසම් ක්‍රමයේ හාම්පුතුන්ගේ කටු කන බල්ලන් වඩාත් සැරයි කියන කතාව වෙනස් ඇහැකින් දකින සහ අනුකම්පාසහගත ඇහැකින් ඒ චරිතය දිහා බලන්නට අපිට ආරාධනා කරන පුද්ගලයෙක්... (මේ චරිතයට පණ පොවාපු නළුවා කොහොමත් මගේ සිත් ගත්තෙක්)...














මැගී සහ නෝනි -
ස්ත්‍රී චරිත දෙකක් උණාට දෙපැත්තකට යන චරිත දෙකක්.. පළමුවැන්න වැඩවසම් හාම්පුතුන්ගේ ගොදුරු බවට පත් වෙන සාමාන්‍ය ගැමි දුප්පත් කෙල්ලකගේ කතාවක්.. දෙවැන්න ඉන් ඔබ්බට ගිය වැටිච්ච ළිං කටෙන් ම ගොඩ ඒමට තතනන ගැහැණියක්.. නමුත් අධ්‍යක්ෂවරයාගේ ප්‍රයත්නය සාර්ථක කරමින් අපි අනුකම්පාසහගත ඇහැකින් බලා හුන් පෙර කී සාමාන්‍ය දුප්පත් ගැමි කෙල්ල ඇදහිය යුතුයි කියල හිතෙන තරමට අපි ඇද බැඳගන්නට මැගී සමත් වෙනවා.. නෝනිගේ එඩිතර හිතුවක්කාර ගතිසොබා චිත්‍රපටයේ අන්තිම වන විට ගැහැණු චරිතයේ සියුම් කළු පාර්ශ්වයට වඩා බර වෙමින් අවසන් වෙනවා..

පරසතුමල් ගීත සහ සංගීතය -
කිසිවක් නොකියන්නයි කියල හිතුවේ අහල ම බැලුවොත් වටින හින්දා... පෙම්වතෙක් දකින්නට, විරහවේ දුක විඳින්නට, මරණයට ආදරය කරන්න මේ චිත්‍රපටයේ හැම ගී පදයක් ම සහ හැම ස්වරයක් ම උඹට මට ආරාධනා කරනවා...

මේ ඉන් එකක්...

කැමරාව සහ ආනුශංගික තාක්ෂණය -
සමකාලීන තාක්ෂණ භාවිතය දිහා බැලුවා ම මේ චිත්‍රපටයේ කැමරාව ගැන සෑහෙන ඇගයීමක් මට තියෙනවා.. නමුත් ඊටත් වඩා ආලෝකකරණයේ උත්කෘෂ්ට දක්ෂතාවක් මුළු කෘතිය පුරා ම මට දැනුණා.. චිත්‍රපටයේ එක් අවස්ථාවක බොනී මහත්තයා තරප්පු පෙළ සිට වෙරිමතින් වෙව්ලන කොටසෙ දි ආලෝකකරණයේ අතිදක්ෂතාව මං දුටුවා.. විශේෂයෙන් මතක් කරන්න ඕනි අවස්ථාවක් තියෙනවා.. එක් අවස්ථාවක සිරිසේන - නෝනිගේ අලකලංචිය සිදුවූ මුල් දිනවල - තමන්ගේ හිතේ තියෙන කැළඹිල්ල එක්ක සටන් කරනවා.. ඒ දර්ශනයේ දී බිම වැටිච්ච කුරුමිණියෙකුගේ සමීප රූපරාමුව මාව සසල කළා...

පරසතුමල් සමස්තය -
මං ආදරේ කරන චිත්‍රපටයක් උණා මේ දැන් ටිකකට කළින්... දකින දේවල්වල නොදකින පැත්ත ගැන කතා කරන මිනිස්සුන්ට සහ නිර්මාණවලට මං ආදරෙයි කවදත්...

ජාතික රූපවාහිනිය -
පරසතුමල් 2013-02-09 දින දවල් 1ට ජාතික රූපවාහිනියේ ප්‍රචාරය උණා.. ජාතික රූපවාහිනිය කොයි තරං දුරට වොෂින් මැෂින් එකක් උණත් මේ වගේ නිර්මාණ බලන්න අවස්ථාව දෙන එක ගැන අපේ පරම්පරාවෙ වෙනුවෙන් කවුරු කවුරුත් තෑන්ක් කරන්න ඕනි..

එක ම එක අවුලක් තිබුණා... චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අවශ්‍ය ම තැන්වලට චරිතය විසින් ඉල්ලන ලෙසට දුම්වැටි සහ මත්පැන් ලබා දුන්නා... ඒ හැම වෙලාවේ ම ‘දුම්වැටි මුඛපිළිකා ඇති කරයි‘ කියල හරි ‘මද්‍යසාර දර්ශන දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමු විය හැකි යි‘ කියල නෝටිස් යන එක ටිකක් අප්පිරිය උණා.. අපේ මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යය ඕන් දැන් හරි කියල හිතාගෙන මේ වගේ වියදමක් රජය කළාට එයින් සෙතක් උණා කියල මට නං දැනෙන්නෙ නැහැ.. පාවිච්චි කරන එකාට ඕව අදාළ නැහැ... මට දැනුණේ ඒක සමහර දර්ශනවලට අවංක ව ම මහා වාතයක්... තුහ්...

අමිලයො උඹ කිව්ව හරියට හරි..  මේක කවුරුත් බලන්න ම ඕනි ෆිල්ම් එකක්...

- වික්ස් -