‘කෙල්ලෙ මොනාද ඕනි‘ ...
ඒ රසාද් අයියා. අපේ ක්වාටස් එක ළඟ කඩේ මුදලාලි...
‘කවුපි කිලෝ බාගයක්‘...
පුංචි කෙල්ලෙක් කඩේට ඇවිත්... රසාද් අයියා අත් දෙකකින් දහදෙනෙකුගෙ වැඩ කරන මුදලාලි කෙනෙක්.. කවුපි කිලෝ බාගෙ තප්පරයක් යද්දි තරාදියෙ...
‘කියපං කෙල්ලෙ ඉක්මණට වෙන මොනා ද??‘
‘කීයද මාමේ?‘
කෙල්ලත් රසාද් අයියට දෙවෙනි නෑ... මහ අම්මණ්ඩියෙක් වගේ... ෂුවර් එකට ගෙදර වැඩුමල් ළමය වෙන්නැති.. රෑ වෙලා තනියම කඩේට එන්න වෙන්නෙ ගොඩක් වෙලාවට ගෙදර ඉන්න වැඩිමල් ළමයට...
‘එකසිය තිහයි..‘
කෙල්ලගෙ මූණ වැස්සකට කළින් අහස වගේ උණා...
‘ම්ම්ම්ම්... අල්ලාහ්....‘
කර කර හිටිය ඔක්කොම වැඩ නවත්තලා රසාද් අයියා කෙල්ල පැත්තට හැරුණා...
‘ඇයි දුවේ..?‘
‘අම්ම දුන්නෙ එකසිය විස්සයිනෙ මාමෙ...‘
‘කමක් නෑ දුවෙ.. හෙට ඉතුරු රුපියල් දහය ගෙනත් දෙන්න බැරියෑ‘....
කෙල්ල හිනාවෙවී පොඩි දිවිල්ලක් එක්ක කවුපි ටික අරං ගෙදර දිව්වා...
ගන්න ගියපු හාල් කිලෝ දෙකට අමතර ව ක්වාටස් එකේ සබන් තියෙද්දිත් තව සබන් කෑල්ලක්වත් ගන්නෝනි කියල මට හිතුණා....
මේක කියවන කට්ටිය මොනා හිතුවත් මේ වගේ ඒවා අහන්න දකින්න හිතෙද්දි මට ‘අල්ලාහ්‘ කියන එකෙයි ‘අනේ දෙයියනේ‘ හරි ‘අනේ අම්මේ‘ කියන එකෙයි වෙනසක් හිතුණෙ ම නෑ කියල මට කියන්න හිතෙනවා...
ඔතන ඒ කෙල්ල වෙනුවට මං හිටියනං මට ‘දෙයියනේ‘ කියල කියවෙයි... අපි දෙන්න ම ඒ දක්වන ප්‍රතිචාරය හරි සාමාන්‍යයි... මේක අන්තවාදී සහ මරාගතයුතු මහා විජ්ජුම්බරයක් නෙමෙයි දෙයියනේ...ඒ වගේ ම ඒ වගේ කතාවකට හරි ඉක්මණට ප්‍රතිචාර දක්වන එකත් සාමාන්‍ය තත්ත්වයන් තුළත් තියෙන්නෙ පොදු ගුණාකාරයක්...
මේ හැමදේක ම තියෙන මහා පොදු සාධකය කියල මං හිතන්නෙ අපේ මනුස්සකම....
සුලු පිරිසක් මේ කොයි කොයි පැත්තෙන් අන්තවාදී උණත් අපිට ඉතා ම සංවේදී වෙන තැනක දී අපිට මතක් වෙන්නේ දෙයියො බුදුන් විතරයි... ඒ හැඟීමට පාටක්වත් ගඳක්වත් රහක්වත් නෑ.. ඒක ඇල්වතුර වගේ හරි පිරිසිදු තත්ත්වයක්....
මේ දවස්වල Kurulu නිතර පාවිච්චි කරන කතාවක් මේකත් එක්ක ටක්කෙට ම ගැළපෙනවා...
‘මං මගේ මිනිස්සුන්ට හරි ආදරෙයි...‘
ඔව් කුරුලුවො.. මමත්....
අපි අපේ මිනිස්සුන්ට ආදරේ කරමු... හෙට එච්චර කළුවර වෙන එකක් නෑ එතකොට....
No comments:
Post a Comment