Monday, July 8, 2013

෴ පිච්චෙන කොට සුදුපාට වෙන හක්ගෙඩි ෴ දෙවැනි කොටස

පළමුවැනි කොටස මෙතනින්


පාර්වතී බඩත් උස්සගෙන කඩපළට ආවෙ පාන් බාගයක් අරං යන්න හිතාගෙන.
බත් ඉදෙන සුවඳ එන කොට ඔක්කාරෙට එන එක මාස හයක් ගියත් මගෑරිච්චි නැති එක ගැන සුන්දරලිංගම් හිටියෙ නෝක්කාඩුවෙන්.
‘වෙන ගෑණුන්ට නං ඔච්චර අමාරු නෑ... උන්ට යස අගේට අවුරුද්දෙන් අවුරුද්ද ළමයි හම්බෙන්නේ... අපේ ගෑණුන්ට තමයි ඒකවත් බැරි...‘
සුන්දරලිංගම් එහෙම කිව්වෙ පොඩි කෙල්ලො දෙන්නගෙ බඩවල් කිතිකවන ගමං.
සංවිදානෙ ඉන්න කාලෙ ගෙදර ආව වෙලාවක මුරුහන් අයියා උමා අක්කට බත් කටක් අනල කවපු හැටි දැකපු එක මතක් වෙලා පාර්වතීට ඉකියක් ආවා.
‘මොන රෙද්දද්ද ඕයි... ඕනි එකකට නහය හූරන්න තියාගන්නෙ... තමුසෙ මහ මුස්පේන්තු ගෑණියක්නෙ..‘
‘සුන්දරේ.. මට ඔය සාලුව ගෙනත් දෙනවද?...‘
උමා අක්කා ළඟක හිටං මහදවාලෙ නාන්න යන්න අරං තියෙනව කියල තේරුණු පාර්වතීට එකපාර අමුත්තක් දැනුණත් පුටුවක් උඩ දාලා තිබ්බ තුවායත් අරං ගේ පිටිපස්සට ගියා. උමා දරුවො දෙන්නෙක්ගෙ අම්මෙක් කියල හිතන්නවත් බෑ කියල පාර්වතීට හිතුණා. ගේ පැත්තට පස්ස හරවගෙන වැලේ රෙදි වන වනා හිටිය උමාගෙ ඇඟේ හැම ගෑණුකමක් ම දියරෙද්දෙන් විනිවිද පේන්න තිබුණා.
‘කෝ... ඇයි සුන්දරේ මල්ලි නැද්ද?? කන්නෙවත් නැතුව කොහෙ ගියා ද??...‘
‘සුන්දරේ ගෙයි නෑ...‘
පාර්වතී බොරුවක් කිව්වා.
‘මේ ගෑණිට මොන යකෙක් වැහිලද? මං පොඩි එව්වො දෙන්න තියල සාලුව දෙන්න බලද්දි ඒක උස්සං ඇවිල්ලා. බඩකුත් තියාගෙන මොන මගුලක් නටනවද මන්දා...‘
කුස්සියෙ දොරගාවට ආව සුන්දරේ පාර්වතීට කෑගහන්න තියාගත්තා.
‘ඒකනෙ පාර්වතී.. සුන්දරේ මල්ලිට කිව්වනං ඕක ගෙනැල්ල දෙනවනෙ.. නේද මල්ලියෙ..‘
එහෙම කියාගෙන උමා සුන්දරේගෙ ඇඟේ ගෑවිගෙන ගේ ඇතුළට ගියේ තෙත බේරි බේරි. දෙන්නෙකුට ලේසියෙන් එහා මෙහා වෙන්න පුලුවන් උළුවස්සක් තියෙද්දි උමාක්කා හිතාමතා ම සුන්දරේගෙ ඇඟේ හැප්පුණාද කියල සැකයක් පාර්වතීගෙ හිතේ ඇතිවෙලා නැතිවෙලා ගියා.
මාත් මේ මොනා හිතනවද මන්දා කියල හිත හිතා පාර්වතී කඩේ පැත්තට යන්න පිටත් උණා. පපුවෙ මයිල් ඇද ඇද පාර දිහා බලං හිටිය සුන්දරලිංගම් දිහා ආයෙ හැරිල බලන්න හිතුණත් පාර්වතී ඒ හිත නවත්ත ගත්තා.
‘නැන්දෙ පාන් තියෙනවද...‘
‘පාන් නං තියෙනව... ඇයි කෙල්ලෙ... පාන් කාලා ඇතෑ ඔය කාලෙට. හොඳ කොළ මැල්ලුමක් එක්ක මාලු හොද්දක් එක්ක බත් ටිකක් කෑවනං තමයි ඉපදෙන්න ඉන්න දරුවගෙ මොළේ පෑදෙන්නෙ..‘
‘කන්න බෑ නැන්දෙ... අතගාලා අතගාලා ඉව්වා ම කටේ තියන්න බෑ අප්පිරියයි...‘
‘ඇයි බං උමා කෙල්ල නෙමෙයි ද උයන්නේ...‘
‘අක්කට කෙල්ලො දෙන්න එක්ක උයන්න කරන්න බෑනෙ නැන්දෙ...‘
‘මං උදේ හන්දියට යමිං ගමං බලාගෙන ගියෙ... දැන් සුන්දරේ කොලුවත් රස්සාවට යන්නෑ නේද??‘
‘ඔව් නැන්දෙ... මේ ටිකේ මූද සැරයි කියන්නේ... අනික මටත් හදිසියක් උණොත් කවුරුවත් නැති හින්දා සුන්දරේ රස්සාවට යන්නෙ ඉඳල හිටල දවසක විතරයි...‘
‘උඹලට කොහොම වෙතත් උමාට නං දැන් ළඟකදි ඉඳං හිටි හිටි ගමං හදිස්සි වෙනව කියල ආරංචියි...‘
පාන් බාගයක් කපල පත්තර කෑල්ලක ඔතල දෙන ගමං කඩේ නැන්දා හීන් සද්දෙට කිව්වා. පාර්වතීගෙ ඇඟ ඇතුළෙන් විදිලියක් කොටාගෙන යනව වගේ දැනුණත් ඒ විදිලියට මූණට එන්න පාර්වතී ඉඩ දුන්නෙ නෑ.
‘නැන්දෙ... සම්බෝල පැකට් නැද්ද??‘
‘ඔය කොයි කොයි එක ගැනත් ටිකක් හෙවිල්ලෙන් හිටියනං නේද හොඳ... උඹල ඉතිං කොළඹ ආණ්ඩුව එක්ක හැප්පෙන්න ගියා උණාට ගෑණු මිනිස්සු එක්ක හැප්පිලා පුරුද්දක් තියෙන්න විදියක් නෑනෙ... හිටිං කෙල්ලෙ... මං උදේ උයාපු මාලු හොද්දක් තිබ්බා.. ටිකක් අරං එන්නං... ගෙනිහිං කාපං...‘
පාර්වතී කඩේ දැල් ටික හූර හූර ඇස් දෙකට ආපු කඳුළු බිංදු ටික නවත්තගන්න හැදුවා.
‘ඉඳා පාර්වතියෙ.. මේක අරං පලයං... තමංගෙ කියල අම්ම අප්පවත් විස්වාස කරන්න බැරි කාලයක් බං මේක... ඒක ඔළුවෙ තියාගෙන කල්පනාවෙන් හිටපං...‘
පාර්වතී මොකුත් නොකියම කඩෙන් බැහැලා ආවා.
‘නංගියෙ උඹ ඊයෙ රෑත් කෑ ගෑවෙ... කොන්ද එහෙම රිදෙනවද??‘
‘ඩිංගක් විතර කොන්ද රිදෙනව අක්කෙ.. ගාණක් නෑ...‘
‘එහෙම කියන්නෙපා බං.. අමාරුවක් තියෙනවනං ගිහිං වාට්ටුවෙ නැවතියං.. නේද සුන්දරේ මල්ලියෙ.‘
 ‘අන්තිමට මෙතන මහරෑ උන්හිටි ගමං හදිසියක් උණොත් අරං යන්න වාහන තියෙන එකක් යෑ... බයිසිකලෙ පදින්න පුලුවන් දුරක් යෑ පාර්වතී...‘
පාර්වතීට ඒ එක්ක ම කොහෙදෝ තිබ්බ කොන්දෙ අමාරුවක් දැනෙන්න ගත්තා. ළඟ තිබ්බ පුටුව ඇදගෙන වාඩි වෙච්චි පාර්වතී සුන්දරේගෙ ඔක්කෙ වාඩි වෙලා හිටිය පොඩි එකීට කතා කළා.
‘එන්න පුතේ... පුංචි ගාවට එන්න...‘
‘මට ඔය මොනා හරි රත්කරල සුන්දරේ මල්ලිට දෙන්න බැරියෑ... මල්ලිටත් රස්සා යන්න බැරියෑ එතකොට... නේද මල්ලියෙ..‘
උමා අක්කා කියන කියන එකට නේද මල්ලියෙ කියන එක දැන් ඕනිවට වැඩියි වගේ කියල පාර්වතීට හිතුණා.
එදා හවස ම ගිහිං ඉස්පිරිතාලෙ නවතින්න පාර්වතී තීරණය කළා.
*** *** *** ***
සතියකට කළින් ළමය හම්බ උණා.
පාර්වතී බලන්න සුන්දරේ ආවෙ දවස් තුනකට පස්සේ.. ඒ උමා එක්ක. ළමයි දෙන්න වඩාගෙන දෙන්නත් එක්ක වාට්ටුවට ඇතුළු වෙද්දි පාර්වතීට මොකක්ද හිතන්න ඕනි කියන එක හිතාගන්න බැරුව ගියා.
‘යකඩෝ.. තව කෙල්ලෙක්... සුන්දරේගෙ මූණමයි.. මේං... මේ නාස් පොල්ල... සුන්දරේගෙ වගේමයි... සුන්දරේගෙත් පොඩි කාලෙ මේ විදියට ම කෙස් ටික කැරලි ගැහිල තිබ්බ කියල සුන්දරේලගෙ අම්මා ඒ දවස්වල කියල තියෙනව නංගියෙ...‘
පාර්වතී පොඩි එකීගෙ මූණ ඉම්බා.
‘මං ඕනි වෙද්දි තබෝදිනීලගෙ කාර් එක කතා කරගෙන එන්නං... ඔය කිව්වට තව සුමානෙකට දෙකකට ටිකට් කපයි ද දන්නෙ නෑනෙ...පණ්ඩිතකමට ගෙදර දුවගෙන එන්න එහෙම හදනව නෙමෙයි...‘
එදා උදේ ටිකට් කැපුවා කියල සුන්දරේට කියන්න පාර්වතීගෙ කට ඇරුණෙ නෑ.
‘හ්ම්..‘
වැඩි කතාබහක් නැතුව විනාඩි දහයක් විතර ඇඳ ගාව හිටිය සුන්දරලිංගම් ගමේ තව ලෙඩෙක් ඉන්නව කියල වෙන වාට්ටුවකට ගියෙ මූණ දෙන්න බැරිකමකින්ද කියල පාර්වතීට හිතුණා.
‘නංගියෙ... උඹ බලෙන් එහෙම ටිකට් කපාගෙන එනව නෙමෙයි... පළවෙනියනෙ.. අනික අඩුමාසෙන් හින්දා ටිකක් පරිස්සං වෙන්න වෙයි.. දොස්තර මහත්තේල කියන දවසක ම වරෙං.. අපි දෙන්න උඹව බලන්න පුලුපුලුවන් විදියට එන්නං...‘
‘දෙයියනේ කියලා තව වැඩි දවසක් ඉන්න වෙන එකක් නෑ අක්කේ.. ‘
ආයෙමත් පාර්වතී බොරුවක් කිව්වා.
*** *** *** ***
ගෑණු වාට්ටුවෙ ඇඳන් මදි හින්දා ටිකට් කපපු අයට ගෙවල්වලට යන්න කියාගෙන නර්ස් නෝන කෙනෙක් පණිවිඩේ කියාගෙන ගියා. බෑග් එකට රෙදි ටික අහුරන ගමං පාර්වතීගෙ ඇස්දෙකෙන් කඳුලු වැක්කෙරෙනව දැකපු අල්ලපු ඇඳේ හිටිය ලෙඩා පාර්වතීට කතා කළා.
‘නංගියෙ... මහත්තයා එන්නං කිව්ව නේද එක්ක යන්න.. නර්ස් නෝනට කියල තව ටික දවසක් ඉඳපං... නැත්තං හෙට අපේ එක්කෙනා ආවා ම මං කියන්නං උඹලවත් ගෙවල් පැත්තට ගෙනිහිං අල්ලල එන්න කියලා..‘
නවත්තගන්න හදපු කඳුලු ගංගාවක් වෙලා ඇස්දෙකෙන් එළියට විසිවෙද්දි පාර්වතී පොඩි එකීව හයියෙන් තුරුලු කරගත්තා.
‘ඇයි බං මේ... ඔය පොඩි එකා තලන්නෙපා යකෝ... අපේ පවුවලට පොඩි එව්වො පළි නෑ බං...‘
පාර්වතීට දරුවව බිමිං තියන්න හිතුණෙ ම නෑ. දරුව අඬන්න තියාගත්තු හින්දා පාර්වතී බෑග් එක පුටුව උඩ තියල ආයෙ ම ඇඳේ හාන්සි උණේ තනේ පොඩි එකීගෙ කටේ තියන ගමං. පොඩි එකීගෙ ඇස් පියවිගෙන එද්දි හෙමිහිට පොඩි එකී ව ඇඳෙන් තියපු පාර්වතී හැට්ටෙ කටුටික හද හදා නර්ස්නෝනල ඉන්න කාමරේ පැත්තට ගියා.
පාර්වතී ආයෙමත් ඇඳගාවට ඇවිත් කොණ්ඩෙ පීරන්න ගත්තා.
‘අක්කෙ මං යන්න කියලා‘
‘තනියම??? උඹට පිස්සු ද??‘
‘මට තනියක් නෑ අක්කෙ... අනික බස් එක තියෙනවනෙ හන්දිය ගාවට ම.. ඔහෙ දවල් වෙන්න කළින් යාගත්තෑකි...‘
‘දැන් හැදෙන එකීලටත් තියෙන්නෙ ලේසි ගායක් නෙමෙයි යකෝ..‘
තව ටිකක් කුටු කුටු ගගා අල්ලපු ඇඳේ ලෙඩා අනිත්පැත්ත හැරුණත් පාර්වතීට තරහක් ආවෙ නෑ. ළඟට ගිහිං ඒ ඇඳේ කට උල් කර කර හිටිය අලුත උපන් කොලු පැටියගෙ ඔලුව අතගාලා නළල ඉම්බා. පිරිච්චි කොලු පැටියා. පාර්වතීට යන්තං අතපය හතර බේරිච්චි තමන්ගෙ පොඩි එකී දිහා බලද්දි හීල්ලුණා.
‘පරෙස්සමට පලයං නංගියෙ... බස් එක නෑ කියල එන එන ලොරිඔලට එහෙම නගිනව නෙමෙයි... ආයෙ වාට්ටුවට වරෙං...‘
‘හ්ම්..‘
හිනාවෙලා බිම බලාගත්තු පාර්වතී වාට්ටුවෙන් එළියට ආවා.

*** *** *** ***

තුන්වැනි කොටසට මෙතැනින්...

No comments:

Post a Comment