Monday, July 8, 2013

෴ පිච්චෙන කොට සුදුපාට වෙන හක්ගෙඩි ෴ පළමුවැනි කොටස

‘මේ සෙල්ලම තවත් ඉවසන්න එපා බං...  උඹටත් යන කලක් තියෙන්න ඕනි... අනික හිතපං උඹෙ පොඩි එකී ගැන..අරූටත් පිස්සුනෙ බං... නැත්තං ඔච්චර මොකද්ද...‘
සීනි සීයකුත් අරං කඩෙන් එළියට බැහැපු පාර්වතී එක්ක ම ගෙවල් පැත්තට යන්න පිටත් වෙනගමං තබෝදිනී එහෙම කිව්වා. මේ කතාව ඉවර වෙන්නෙ අමාරුවෙන් හදාගත්තු හිත ආයෙමත් රිද්දගෙන කියල හිතුණු පාර්වතී කරබගෙන පය ඉක්මන් කළා.
‘යකෝ කසාද ගෑණි උඹ වෙච්චි එකේ මොනාද බං ඔය කුඩුකේඩු වැඩ?.. අනික උමාක්කලත් ඕවා කල්පනා කරන්න ඕනි.. පිරිමියෙක්ගෙ ඇඟක් බදාගෙන බුදියන එක නෙමෙයි බං මේ ලෝකෙ තියෙන එක ම රාජකාරිය.. කවදහරි මෙව්ව හින්දා රට්ටුන්ගෙන් කතන්දර අහන්නෙ අර කෙලි පැටව් තුන්දෙනා... වාට්ටුවෙ ඉඳන් ඊයෙ උඹ ගෙදර ආව ආරංචිය ආව ගමං මං මේක උඹට කියන්න හිතාගත්තෙත් ඒකයි.. දැන්වත් පාර්වතියෙ වෙලාවක සුන්දරේට කාරණාකාරණ කියල දීලා කුලියට හරි ගෙයක් අරං පලයං... උඹට බැයි ම නං මට කියපං... මං සුන්දරේ මල්ලි එක්ක නිවාඩු පාඩුවෙ කතා කරන්නං.. මං කොහොමත් කෙල්ල පැටිය බලන්න ඒ පැත්තෙ එන්න කියල හිටියෙ අද දවාලෙ...‘
‘අනේ තබොවක්කෙ... ඉක්මණට තේ කහට ටික වක්කරල උදේට කන්න මුකුත් රත් කරන්න ඕනි බං.. මං ගිහිං එන්න ද?..උදේ ම ගිහිං කුලීකාරයො දෙන්නෙක්වත් හොයාගෙන ගේ පිටිපස්ස කෑල්ලෙ රතුළූණු ටිකක් වවන්න කියල හැදුවෙ අක්කේ‘
‘ඔව් ඔව්.. තව හම්බ කරපං... ගෑල්ලමයිම තුන්දෙනෙක්නෙ... ලේසි වෙන එකක් නෑ දීග දෙද්දි...අනේ උඹට කියන කට පාර්වතියෙ...‘
කෑම්පෙකේ ඉඳලා ආව දා හිටං ම ගමේ එවුන්ගෙන් වෙනසක් නැතුව පාර්වතී එක්ක කතා බහ කරන තබෝදිනීට හිනාවක් විසි කරලා පාර්වතී පය ඉක්මන් කළා ගෙවල් පැත්තට... තබෝදිනී අන්තිමට කිව්ව කතාව තරහට කිව්වත් හිත හොඳකොමට කිව්වත් සීයට දෙසීයක් ඇත්තයි කියල පාර්වතී දැනං උන්න ඉර හඳ වගේ... එදා ගෑණු වාට්ටුවෙ ඉඳන් ආපු පිම්ම ඇඟේ පතේ කැක්කුං ඔක්කොම පැත්තකට දාලා පාර්වතී උදැල්ල අරං ගේ පිටිපස්සට ගියේ ඔය කතාව හින්දම හිතට ආව හයිය අතපයට අරගෙන...
කෙල්ල ඇහැරෙන්න කළිං වතුර ටික රත්කරගන්න හිතං පාර්වතී හයියෙන් හුස්මක් ලිපට පිම්බා.. ඒ හුස්ම එක්ක පාර්වතී හංගං හිටිය හීං තනිකමකුත් ලිපේ ගිනි අඟුරු අස්සෙ පිච්චෙන හැටි බලං හිටිය පාර්වතීගෙ මූණ ගින්දර එළිය එක්ක දම්පාටට දිලිසුණා.
*** *** *** ***
පාර්වතී ඉස්කෝලෙ ගියෙ හයේ පන්තියට විතරයි. පාර්වතීගෙ තාත්තට - ඒ කියන්නෙ වේලායුදන්ට - සංවිදානෙ එක්ක සම්බන්දකං තියෙනව කියල ගමේ හැමෝම දැනං හිටියා. ඒ කාලකණ්ණි දවසෙත් වේලායුදන් ගෙට ගොඩවෙද්දි පාර්වතී හිටියෙ උමාගෙ තිරුක්කුරල් විචාරය පොතක් කියවන ගමං...
“අඩිසිට් කිනියාලේ ඇන්පුඩය මාදේ...“
“ඇන්පුඩය නෙමෙයි ඊරි... ඇන්පුඩෛය.. උඹෙ ඇස් පේන්නෙ නැද්ද..“
“පඩි සොට් තවරාහ පාවායි අඩි වරුඩි පින් තූන්ගි මුන්නෙලුන්දු පේදයෝ“....
“මුන්නෙලුන්දු පේදෛයො.. හරියට කියපං නංගි..“
“මොකද්ද අක්කෙ මේකෙ තේරුම බං?“
“පැහෙන්නැතුව හිටපං.. උඹටත් කවද හරි ඔය වල්ලුවර් කියල තියෙන විදියට තමයි මිනිහෙක් එක්ක ඉන්න වෙන්නෙ...“
“අනේ කියපංකො අක්කෙ අගේ නොකර.. නෙදකිං උඹ නං...“
“ලොක්කියෙ... කටවහගනිල්ල දෙන්නම..“ සිවගෝමි ගේ ඇතුළෙ ඉඳන් එළියට ආවෙ වේලායුදන්ගෙ බයිසිකලේ බෙල් එකේ සද්දෙට කන් දෙක ඇරගෙන.
වේලායුදන් ඒ ආවෙ පාර්වතී එක්කං යන්න කියල දැනගත්තු සිවගෝමී ලිප ගාව වාඩි උණේ ඇඳං හිටිය ලුංගියෙ කොනකිං නහය හූරන ගමං. ලිපේ හැඳිගගා තිබ්බා කඩල හොද්ද එක්ක ගතු කියන්න වගේ මොන මොනාද සට පට ගාලා අම්මගෙ කටින් පිට වෙනව පාර්වතී දැක්කා. කතා කරන්න හොඳ වෙලාවක් නෙමෙයි කියල තේරිච්චි පාර්වතී සද්ද නැතුව තාත්තගෙ බයිසිකලේ පොල්ල උඩින් වාඩිවෙලා සාය අකුලල කකුල් දෙක අස්සෙ පටලගත්තා. ආයිමත් තිරුක්කුරල් ඉගෙනගන්න පාර්වතී ඉස්කෝලෙ ගියේ නෑ.
සංවිදානෙන් ඇවිල්ල කෙල්ලෙක් කොල්ලෙක් අරගෙන යද්දි උන්ගෙ මහඑවුංගෙ පපු කොයිතරං පිච්චෙනවද කියල දැන දැනත් වේලායුදන් පාර්වතී බයිසිකලේ තියාගෙන බෝඩර් එකෙන් එහා කැලෑවට ඇදිච්චි කතාවට පහුවෙන්දා එළිවෙද්දි අත්තටු හම්බ වෙලා තිබ්බා. කවුරුත් කතා උණේ වේලායුදන් වගේ තිරිසන් තාත්තෙක් කොහෙවත් නැතුව ඇති කියල විතරයි.
*** *** *** ***
පාර්වතී සංවිදානෙට එකතුවෙලා අවුරුදු ගාණකට පස්සෙ දවසක උමා කසාද බැන්දා. වේලායුදනුත් සිවගෝමිත් මුරුහන් එක්ක උමා පයුරුපාසනං තියාගන්නවට කැමති උණේ ම නෑ. කවදාහරි දවසක තමං වගේ ම පාර්වතී වගේ ම මුරුහනුත් සංවිදානෙ එක්ක එකතු වෙනව කියල වේලායුදන් නිච්චියට ම දැනං හිටියා. ඒ කිව්ව වගේ ම උමා එක්ක ඇයි හොඳයිය තියෙද්දි ම මුරුහන් සංවිදානෙ එක්ක එකතු උණා. සංවිදානෙ ඇස්වහලා හැමදා ම එළිවෙන පාන්දරට දුවගෙන එන මුරුහන්ගෙ බර දරාගන්න උමාගෙ යන්තං ඉස්සිච්චි පපුව ලෑස්ති වෙලා හිටියා. ඒ හැම පාන්දරක ම උමාව තලල දාන මුරුහන් කුකුළෙක් අඬලනව ඇහිච්චි ගමං පිටිපස්සෙ දොර ඇරගෙන කැලේට පනින සද්දෙ අහං ඉන්න පුරුදු වෙලා හිටිය සිවගෝමිගෙ පපුව ඒ දුකට ම පැලිල යන්න වැඩි කාලයක් ගියෙ නෑ. ආණ්ඩුවෙ වාට්ටුවට දාලා ඉන්න අතරෙ පණ යන්න ඔන්න මෙන්න තියෙද්දිත් නවත්තන්නැතුව කියෙව්වෙ ම උමා ගැන කියල ඉඳල ඉඳල හරි ඉස්පිරිතාලෙ ගිහිං ගමට ආව හැමකෙනා ම කිව්වා. සිවගාමි මැරුණ ඉක්මණට ම පාර්වතී නිවුන් කෙල්ලො දෙන්නෙකුට පුංචිඅම්ම උණා.
*** *** *** ***
නන්දිකඩාල්වලට ආමි එකෙන් ගහල අන්තිම යුද්දෙ පටන් ගනිද්දි පාර්වතී වේලායුදන් හම්බ වෙන්න ගියා.
‘තාත්තෙ මං ආමි එකට බාර වෙනවා..‘
‘උඹට පිස්සු ද? අනික උඹ බාර වෙච්චි ගමං උන් උඹට මොනාද කරන්නෙ කියල උඹ දන්නවද?‘
‘මට මේක කරන්න බෑ තාත්තෙ... තාත්ත කියපු හින්දා ආව විතරයි... මට දැන් යන්න ඕනි‘
‘උඹ ඉඳපං දුවේ.. අපිට සංවිදානෙන් ඇරෙන්න වෙන කාගෙන්වත් දැන් උදව්වක් නෑ. අනික උඹ වගේ යමක් කමක් තේරෙන එව්න් තමයි සංවිදානෙට ඕනි... ආමි එක එක්ක හැප්පෙන්න උඹල වගේ කොල්ලො කෙල්ලො තමයි ඕනි දුවේ.. අනික සංවිදානෙට උදව් කරන කට්ටියට සංවිදානෙ සලකන හැටි උඹ දන්නවනෙ.‘
‘තාත්තෙ අපි රැවටිලා තාත්තෙ... මේක මහ බොරුවක්... සංවිදානෙ සලකන්නෙ ලොකු මනුස්සයට විතරයි... තාත්ත අපි වගේ මිනිස්සුන්ට කාගෙන්වත් උදව්වක් නෑ තාත්තෙ... මේ බොරුව මට අතාරින්නයි ඕනි.. මං යනවා.. මං ඒක තීරණය කරල ඉවරයි තාත්තෙ...‘
‘මං කියන දේ අහපං පාර්වතී... ආමි එකට බාර වෙච්චි එව්න්ට මොනව වෙනවද කියල දන්නෙ නෑනෙ...‘
‘ගියපාර ගෙදර ගියා ම මට සුන්දරේ හම්බ උණා... දැන් අපේ කට්ටිය ගොඩ දෙනෙක් ආමි එකට බාර වෙලාලු... ඒ අය කෑම්ප්වලට අරං ගිහිං වවන්න කියා දෙනවලු... අන්තිමට අවුරුද්දකින් දෙකකින් ගෙවල්වලට බාර දෙනවලු... සල්ලිත් එක්ක...‘
‘සුන්දරලිංගම් තමයි උඹට මේව කියන්නෙ එහෙනං... මං ඌ ගැනත් බලාගන්නංකො...‘
එකපාරට ම වෙඩි සද්දයක් ළඟ ළඟ ම ඇහෙන්න උණා. පාර්වතීගෙ අතින් ඇදගෙන වේලායුදන් දුවන්න හැදුවත් පාර්වතී වේලායුදන්ගෙ අත ගසල දාලා වෙඩි සද්දෙ ඇහිච්චි පැත්තට කෑගාගෙන දුවගෙන ගියා. එදායින් පස්සෙ උමා කවදාවත් ආයෙ වේලායුදන්ව දැක්කෙ නෑ.
පාර්වතී ආමි කෑම්ප් එකේ ඉඳන් ගෙදර ආවා. ඒ එද්දි තාත්ත හරි මුරුහන් හරි පාර්වතීගෙ පාර වෙනස් කරල ආයෙම විමුක්තිය හොයාගෙන කැළෑවට එක්කං යයි කියල බයෙන් පාර්වතී වෙව්ලුවා. පාර්වතී ගෙට ගොඩවෙච්චි ගමං දුවගෙන ආපු උමා පිටිපස්සෙන් නිවුන් කෙල්ලො දෙන්න දණ ගාගෙන ආවා. උමාව බදාගෙන උරහිස උඩින් ඔලුව තියාගත්තු පාර්වතීගෙ ඇස් ගෙයි බිත්තිය උඩ එක තැනක නතර උණා. තාත්තගෙයි වේලායුදන්ගෙයි පින්තූර දෙක බිත්තියෙ එල්ලල චන්දන මාල දෙකක් දාලා තිබ්බා. ඒ පොටෝ දෙකේ ම ‘වීර වණක්කම්‘ කියලා ලොකු අකුරෙනුත් ‘කණ්ණීර් අංජලී‘ කියලා පොඩි අකුරෙනුත් ගහල තිබ්බා. මහාවීර පවුලක සාමාජිකාවක් වෙච්චි ආඩම්බරේ වහගෙන මහා තනිකමක එහෙම නැත්තං අනාරක්ෂාවක සේයාවක් පාර්වතීගෙ ඇස් ඉස්සරහ මැවි මැවී පෙනුණා.
‘අපි තනි උණා නංගියෙ... මිනී දෙකවත් දැක්කෙ නෑ...‘.
හැන්දෑවෙ සුන්දරලිංගම් පාර්වතී ආව ආරංචිය එක්ක ම පාර්වතීගෙ ගෙවල් පැත්තට දුවගෙන ආවා.
‘පාර්වතී පහුවෙල හරි කමක්නෑ මං කියන එක පිළිගත්ත එක ලොකු දෙයක්...‘
පාර්වතීට අඬන්නවත් හිනාවෙන්නවත් හිතුණේ නෑ. ඒකට තාම කල්වැඩියි කියල පාර්වතීට දැනුණා.
‘මං පාර්වතී ව බඳිනවා...‘
ආයෙමත් පාර්වතීට අඬන්නවත් හිනාවෙන්නවත් බැරි තත්පර ගණනාවක් ගෙවිල ගියා...
‘ඔයා වැඩිය එළිපහළියට යන්න එපා.. මං පාර්වතීව බඳින්න යනව කියන එකත් වැඩිය කාටවත් කියන්න එපා.. ලබන සෙනසුරාදා මං පාර්වතී ව එක්කං යනවා..‘
ඒ කතාවට නං පාර්වතීට කතා නොකර ඉන්න බැරි උණා..
‘එතකොට අක්කලා?..‘
‘මං ගැන කරදර වෙන්න ඕනි නෑ... උඹල පලයල්ලා... මට කෙල්ලො දෙන්න හදාගෙන ඉන්න බැරි නෑ පාරු..‘
අක්කා පාර්වතීට පාරු කියල කතා කරන්නෙ අන්තිම බිංදුවට ම ආදරේ හිතුණා ම කියල පාර්වතී දැනං හිටියා..
ළඟ හිටිය පොඩි එකී බිම වැටිච්චි විස්කිරිඤ්ඤං කෑල්ලක් කටේ දාගන්න හදනව දැක්ක සුන්දරලිංගම් පොඩි එකී වඩාගෙන අහකට ගෙනිච්චා.
‘කොහොමත් අපේ අම්මල පාර්වතීව බාරගන්න එකක් නෑ.. අම්මල කොහොම වෙතත් වාගීෂන් බාප්පලා තාම ඉන්නෙ නංගිල එක්ක තරහිං...‘
වාගීෂන් විතරක් නෙමෙයි සංවිදානෙ එක්ක තරහිං හිටිය ගොඩක් අය මේ වෙද්දි සංවිදානෙන් ඇවිත් පුනරුත්ථාපනය වෙච්චි ඈයො හොය හොයා පළිගන්න එක මෝස්තරයක් වෙලා තිබ්බා. සටන පාවලා දීපු ප්‍රතිගාමීන් විදියට හංවඩු ගැහිච්චි පාර්වතීලට සංවිදානෙ ඇතුළෙත් සහනයක් තිබ්බෙ නෑ ආයෙ ම. ඒ එක්ක ම වාගීෂන්ල වගේ ඊපීඩීපි එකේ ගම්මට්ටමේ හයිකාරයො වගේ ම කරුණගෙ පැත්තෙ කට්ටියත් පාර්වතීලව කොන්දේසි විරහිත ව ප්‍රතික්ෂේප කරන්න දෙපාරක් හිතුවෙ නෑ. පාර්වතීලට ආයෙ සමාජ ජීවිතයක් උරුම කරගන්න එක නවත්තන්න ඒ දෙගොල්ලො ම දත කෑවා. මේ පැති දෙකට මැදි වෙච්චි ගමේ මිනිස්සු කෝකටත් තෛලෙ වෙච්චි හැඟීම් විරහිත හිනාවක් විතරක් දාලා පාර්වතීල මගාරින්න පටන් අරං තිබ්බා.
පහුවෙනිදා ම පාර්වතීව හොයං ආව සුන්දරේ කලබලේට උස්සන් ආව බෑග් එක සාලෙ තිබ්බ ඇඳෙන් තියල ෂර්ට් එක ගැලෙව්වා. පාර්වතී තේ කහට ටිකක් වක්කරන්න ගේ ඇතුළට ගියත් කන් දෙක උමාක්කයි සුන්දරලිංගම් ගාවයි තියල ආවා.
‘මෝඩ හැත්ත.. මුංට තේරෙන්නෙ නෑ පාර්වතීලත් මිනිස්සු කියලා..‘
‘මං උඹට ඕකනෙ මල්ලියෙ කිව්වෙ... උඹ අපේ පව්වලට කර ගහන්න ඕනි නෑ... අම්මල තාත්තල කියන දෙයක් අහගෙන තව ඩිංගක් ඉගෙන ගනිං...‘
‘ඉගෙන ගෙන ආයෙ ආණ්ඩුවෙ රස්සා කරන්න ද උමාක්කෙ... මට ඕන්නැති රස්සාවක් නෑ... මට පාර්වතී හොඳා... මං ආයෙ ගෙදර යන්නෑ...‘
පාර්වතීගෙ අත වැදිච්චි වීදුරුවක් ‘ස්ලාං‘ ගාලා බිම වැටිලා ඒ කතාවට උත්තරයක් දුන්නා.
‘පාරු.... පරෙස්සමෙන් කෙල්ලෙ.... මං හාල් ටිකක් කොරහට දැම්මා.. සුන්දරේ මල්ලිටත් එක්ක තව හාල් ටිකක් හෝදල ගනිං.. මං කඩේට ගිහිං සැමන් බාගයක් අරං ඉක්කංට එන්නං....‘
සැමන් හොද්දයි, කොළ සම්බෝලෙයි, පපඩං බැදුනුයි එක්ක බත් තියල හදාපු පාර්වතීගෙ මංගල කෑම මේසෙ රෙද්දෙ රැළි නැති වෙන්න හතර කොණෙං ඇදපු පාර්වතී ආයෙම වතාවක් ඒක දිහා බලාගෙන තනියම හිනා උණා.
‘තොපි කම්බස් කරනව යකෝ... අපේ කොල්ල නැති කරපු අවලං හැත්ත... උඩ ඉන්න දෙයියො බලා ගනියි යකෝ මේවා... පරට්ට වේසාවියො.... ගිහිං එක එකාලට අල්ලල අල්ලල මෙතන ආවද යකෝ මගෙ කොල්ල කාබාසිනිය කරන්න... තොපි හොයාගනිං ඒකට නාකි අස්පයෙක්‘
වාගිෂන් බාප්පා ඉස්සර කරගෙන පාර්වතීලගෙ මිදුලට ඇවිත් සුන්දරලිංගම්ගෙ අම්මා කොණ්ඩේ කඩ කඩා කෑගහන්න ගත්තා. බය වෙලා අඬන්න ගත්තු පොඩි එව්වො දෙන්න වඩාගෙන උමා ගේ පිටිපැත්තට දිව්වා. සුන්දරලිංගම් අතට ගත්තු බත් කට පිඟානට දාන්නැතුව ගල් ගැහිලා. පුටුව පස්සට කරපු පාර්වතී ගේ ඉස්සරහට ගියා.
‘පරට්ටියෙ.. මට මගෙ කොල්ල දීපං... තෝයි මහඑකයි ගියෙ ආණ්ඩුව එක්ක හැප්පෙන්න නේද යකෝ... කෝ දැං... කෝ තොපිලගෙ තිබිච්චි හයිය...වර එළියට පර බැල්....‘
පාර්වතී ඉස්සරහට එනව දැකපු වාගීෂන්ගෙ කියවිල්ල නිකංම නැවතුණා.
‘බාප්පෙ...‘
තමන්ට සුන්දරේ සින්නකර අයිතියි කියල නිච්චියට ම දැනගෙන හිටිය පාර්වතී වාගීෂන්ට ඒ විදියට කතා කළා.
‘මං සුන්දරේට කැමතියි... සුන්දරේ මට කැමතියි... මට ඒ හයිය ඇති... බාප්පල හිතං ඉන්නවනං අපිව වෙන් කරලා සන්තෝස වෙන්න සුන්දරේ එක්ක යන්න... මං ඒකට හරස් වෙන්නේ නෑ... මට අක්ක ඉන්නවා...‘
‘සුන්දරේ... වරෙං ගෙදර යන්න...‘
‘බාප්පෙ... බාප්පල යන්න... මං ආයෙ එන්නෙ නෑ...‘
ගෙයි උළුවස්සට හේත්තු වෙන ගමං සුන්දරලිංගම් හෙමිහිට කිව්වා.
‘උඹට එහෙනං පුතෙ වදාපු මට වඩා මේ පරට්ටිව ලොකු උණා නේද...‘
‘අම්මල කටවහං යනවද?...‘
‘වරෙං අක්කෙ මෙන්න මෙහෙ... මං මළාට මුන් එහෙම හතර මායිමේ වද්දගන්නව නෙමෙයි...‘
වාගීෂන් ඒ විදියට කියාගෙන පහුබැහැලා ගියා. යනගමං තව මොන මොනාද කෑ ගගා කිව්වට පාර්වතීටත් සුන්දරලිංගම්ටත් ඒ මොකක්ද කියල ඇහුණෙ නෑ.
ගෙට ගොඩවෙද්දි මේසෙ උඩ තිබ්බ සැමන් හොදි පීරිසිය ලෙවකකා හිටිය පූසිව එළවපු පාර්වතී ආයෙත් සැමන් හොදි පීරිසියක් මේසෙට තියන්න අරං ආවා.
‘කෝ උමා අක්කා... එන්න කියන්න අපිත් එක්ක ම බත් ටිකක් කන්න...‘
සුන්දරලිංගම් පාර්වතීගෙ පස්ස පැත්තට තට්ටුවක් දාන ගමං කිව්වා.

*** *** *** ***

දෙවැනි කොටසට මෙතනින්

No comments:

Post a Comment