Friday, July 12, 2013

එම්බා මානං යාය, මට තාම පාලු ය...

.
කිරිබත්ගල කන්ද මැද්දෙ ගලක් තියෙනවා... අඩි ගාණක්, බාගවෙලාවට හත් අටසීයක්, උස මේ ගලේ එක ම එක තැනක ලා කොළ පාටට හිනැහෙන මානං ගොල්ලක් තියෙනවා... හුළඟට හෙළවෙනවා.... අව්වට වේලෙනවා... වැස්සට ආයෙත් තෙමෙනවා... ඒත් මහ හයියෙන් ගල අල්ලන් ඉන්නවා... 

පොඩි කාලෙ හිටං ම ඒ මානංගොල්ල එක්ක කතාකරන්න මං තෝරගන්නෙ අපේ ගේ පිටිපස්සේ බැම්ම... දවසෙ සිද්දි ටික හුස්මක් කටක් නැතුව මානං ගොල්ලත් එක්ක කියනකොට ඒ පැත්තට මේ පැත්තට සීරුවට ඔලුව හොල්ල හොල්ල වැනෙන්න මානංගොල්ල පුරුදු වෙලා තිබ්බා... වෙලාවකට මං තාත්තගෙ සාක්කුවෙන් රුපියල් පහක් අරං ගිහිං ගේට්ටුව ළඟ සීතම්මගෙන් වෙරළු කෑවා කියල කියද්දි තාත්තටත් හපං ඔරවන එරවිල්ල, කිසි හාවක් හූවක් නැතුව... ඉස් ඉස්සෙල්ලා ම ලිපේ පත්තු වෙවී තිබ්බ පොල්කොළයක් ඇදල අරං සෙල්ලං සුරුට්ටු බිව්ව හැටි මානං ගොල්ල එක්ක කියන්න නං මට දවස් ගාණක් ගියා... ඒත් හූමිටි තිවිල්ලක්කත් නැතුව ඔහේ අහං ඉඳල අර ලා කොළ පාට හුළං පාරකුත් එක්ක තද ම තද කොළපාටක් කරගත්තා... තාත්තට අහුවෙලා ගුටි කෑවනං ඊට සැපයි කියල අම්මප දවස් ගාණක් යනකම්ම මට හිතුණා. ආයි බැම්මෙ වාඩිවෙලා මානංගොල්ල එක්ක කතාව පටන් ගත්තේ ශිෂ්‍යත්තෙ පාස් වෙච්චි දවසෙ...

ඊට සති කීපෙකට කළින් කන්දෙන් කොටහක් නාය ගියා... ආරංචිය ආව දවසෙ ඉඳන් හැම වෙලේ ම මං පන්සලේ ශිෂ්‍යත්ත පන්තියෙ ඉන් ගමං විඩෙන් විඩේ කොට බිත්තියෙන් ඉස්සිලා මේ මානං යාය පරිස්සමින්ද කියල බලනවා... අම්මප ඒ බලන බලන සැරයක් ගානෙ ම හිතුණෙ මං සුරුට්ටු බිව්ව තරහට මොකක් හරි කරං කියලා. ඒක හරි අමුතු හිතිවිල්ලක් කියල මටත් නොහිතුණා ම නෙමෙයි... මානං ගොල්ල මගෙත් එක්ක තරහයි කියල හිතට හරි බරට දැනිලා තිබ්බා.. ඒ හින්දම ද මන්දා මානංගොල්ල එක්ක කෙළින් කතා කරන්න බැරි මොකක්දෝ අමාරුවක් මට තිබ්බා ඒ දවස් ටිකේ ම...

කාලය ගත උණා... මං ඉස්කෝලෙන් අවුට් උණා.. ජොබ්බෙකකට ආවා... ට්‍රේනිං අවුරුදු දෙකක් ගමෙං පිට ඉන්න උණා... පස්සෙන් පහු වෙද්දි ගමට ආවත් රෑ ඇවිත් උදේ පිටත් වෙන ජීවිතේට හුරු වෙන්න සිද්ද උණා... ගමට නවතින්න ආවට පස්සෙ මං කේඩීයූ එකේ පැක්ට්‍රියක අලුත් ජොබ්බෙකකට ගියා...

පහුගිය සතියෙ මං කේඩීයූ එකේ දලු ලයින් එකේ අලුත් දලු ඕඩර් බලන්න යද්දි කිරිබත්ගල කන්ද පාමුලට ම යන්න සිද්ද උණා දවස් ගාණක් එක පිට පිට. ඒ යමිං ගමං හුළං පාරක් බාගෙට ඇරිච්චි වීදුරුවෙන් එනකොට මං හෙමිහිට ඔලුව උස්සලා කිරිබත්ගල කන්ද දිහා බැලුවා... ටිකක් විතර කෙට්ටු වෙලා අඳුරගන්න බැරි ගතියක් තිබ්බත් මානංගොල්ල එක්ක ආයෙ ම යාලුවෙන්න මට වැඩි දවසක් ගියේ නෑ... අන්තිම දවස් දෙක තුනේ ම යන එන හැම වෙලේ ම මේ යාලු මානංගොල්ල මට ආයෙ ම හිනාවෙන්න තියාගත්තා... අර පරණ පුරුදු විදියට.. නූලකවත් වෙනසක් නැතුව...

‘මොකද මහත්තෙයා තනියම හිනාවෙන්නේ‘..
‘නෑ ගුණේ... අර මානං යායත් හරි පුදුමයි නේ?‘..
‘ඇයි මහත්තයො හිටිගමං එහෙම කිව්වේ?‘...
‘නෑ ඉතිං හරියට රාජකාරියකට පේ වෙලා වගේ බලපංකො අර ගල් පව්ව බදාගෙන ඉන්න ගමං අපිත් එක්කත් කතා කරන හැටි‘..
‘මහත්තෙයටත් පිස්සු. ඊළඟ වංගුවෙන් නවත්තල තේකක් බීල ම යන්ද මහත්තෙයා?..‘

‘‘‘‘ඒකයි ගුණේ උඹට ගුණේ කියල මට උදයසිරි කියන්නේ‘‘‘‘...

1 comment:

  1. අගුණ ගුණෙලා එක්ක රාජකාරි පරිස්සමින්

    ReplyDelete