Monday, July 8, 2013

෴ පිච්චෙන කොට සුදුපාට වෙන හක්ගෙඩි ෴ තුන්වැනි කොටස


පළමුවැනි කොටස මෙතැනින්
දෙවැනි කොටසට මෙතැනින්


*** *** *** ***
පාර්වතී පොඩි එකීත් වඩාගෙන බෑග් එකත් එල්ලං ගෙට ගොඩවෙන කොට උමා පේන්න හිටියෙ නෑ. පාර්වතී දරුවත් එක්ක ම ගේ පිටිපස්ස පැත්තට ගියා. උමා නාගෙන ඇවිත් රෙදි වනනවා.
‘අක්කෙ, කෝ සුන්දරේ...‘
සුන්දරලිංගම්ගෙ හෝදපු යට කලිසමක තෙත මිරික මිරික හිටිය උමා ගැස්සිලා ගියා.
‘යකෝ... උඹ ආවද නංගියෙ... අපි මේ හෙට එන්න හිටියෙ.. සුන්දරේ ඔය හන්දිය පැත්තට ගියෙ තබෝදිනීලගෙ කාර් එක කතාකරගන්න කියලා.‘
යට කලිසම වැලේ වනපු උමා වතුර බාල්දියත් අරං ගෙට ගොඩ උණා. සතියට දෙකට උමා තව ටිකක් ආරලා කියලා පාර්වතීට හිතුණා.
පාර්වතී ගේ ඇතුළට යද්දි උමා කාමර කෑල්ලෙන් එළියට ආවා.
‘ආං.. මං පොඩි එකාව තියන්න චීත්ත කෑල්ල දිගෑරල ආවා...‘
පාර්වතී පොඩි එකීව වඩාගෙන කාමරේට ගියපු පාර්වතී පොඩි එකීව චීත්ත කෑල්ලෙං තිබ්බා. ඊට එහාපැත්තෙ හිටිය පොඩි උන් දෙන්නා සැපට නිදි.
කාමරේ මුල්ලක සුන්දරලිංගම්ගෙ සරමක් වළල්ලක් විදියට බිම වැටිලා තිබ්බා. පාර්වතී ඒ මුල්ලට යද්දි ම පොඩි එකී කෑගාන්න තියාගත්ත හින්දා සරම එහෙමම තියෙද්දි පාර්වතී පොඩි එකී ගාවින් හාන්සි උණා.
කෙල්ලොම තුන්දෙනෙක්. දීග දෙද්දි ලේසි වෙන්නේ නෑ. පාර්වතීට පොඩි එවුවො තුන්දෙනා ගැන ම එක විදියෙ කැක්කුමක් දැනුණා. පොඩි එකීගෙ කටේ තිබ්බ තන පුඩුවෙන් විතරක් නෙමෙයි පාර්වතීගෙ අනිත් තනෙනුත් එක ඕසෙට කිරි වැක්කෙරෙන්න ගත්තා. ඒ එක්ක ම කොහෙදෝ නැති හයියක් යටිපතුල්වලින් ඇඟට ඇතුළු වෙලා යටිබඩ පපුව දිගේ ඔලුවට ගිහිං ඇඟේ හැම නහරයක් ගානෙ ම දුවං යනවා වගේ පාර්වතීට දැනෙන්න ගත්තා.
‘අක්කෙ කෝ අර උදැල්ල...‘
‘ඒ ගමන මොනා කරන්නද හදන්නෙ....‘
‘ගේ පිටිපස්සෙ කැලෑව වැවිල වැඩියි වගේ දැක්කා.. නිකං ඉන්න එකේ සුද්ද කරලවත් දාන්න...‘
‘කෝ... පොඩි එකී නිදිද?‘
‘ආං අක්කල දෙන්න එක්ක සනීපෙට නිදි. තුන්දෙනාට ම මං සුන්දරේගෙ සරමක් පෙරෝලා තිබ්බා.. මදුරුවො දැන් දවල් හිටං අක්කෙ...‘
‘පාරු...?‘
‘අක්කෙ හාල් ටිකක් ලිපේ තියපංකො... මං වම්බටු ගෙඩි තුනහතරක් කඩාගෙන ම එන්නං.. සුන්දරේ ආවා ම වැල්ලට යවල මාලු වැලක් ගෙන්න ගම්මු...‘
එහෙම කියල පාර්වතී ගෙයිං එළියට බැහැලා ගිහිං ආයෙ ගෙට එද්දි සුන්දරලිංගම් ආ පිම්මෙම වැල්ලටත් ගිහිං.
වම්බටු හොද්ද ලිපේ තියාපු පාර්වතී කුස්සියෙ දොරෙන් බලද්දි සුන්දරලිංගම් උමා අතට මාලුවැල දීල ආයෙම බයිසිකලේට ගොඩවෙනවා දැක්කා. උමා එක්ක මොන මොනාද කතා කරපු සුන්දරලිංගම් සිවුරුහන් ගහගෙන පාරට යනව බල බල පාර්වතී ලිපට පිම්බා.
‘නංගියෙ මං මේ මාලු හොද්ද ලිපේ තියන්නං.. උඹ පලයං ළමයි තුන්දෙනා ළඟට..‘
‘කොහෙද අරය ගියේ...?‘
‘කවුද? සුන්දරේ ද? වාගීෂන් බාප්පලගෙ කෙල්ල කොටහලු වෙලාලු... ඒකට හට් එක ගහන්න තියෙනව කියල ගියේ... අම්මලටත් පණිඋඩේ කියයි මං හිතේ.. එහෙම උණොත් හෙට දිහාවෙ එයි මේ පැත්තෙ කෙල්ල බලන්න...‘
*** *** *** ***
‘පාර්වතියෙ.... පාර්වතියෙ....‘
සුන්දරලිංගම් ළඟින් අරක්කු ගඳක් පාර්වතීට දැනුණා.
‘කෝ මයෙ කෙල්ල...‘
‘අරක්කු බීල නං මයෙ පොඩි එකී වඩාගන්නව නෙමෙයි...‘
පාර්වතී සුන්දරලිංගම්ගෙ අතට හීන් පාරක් ගහන ගමං කිව්වා.
‘උමා... කන්න ටිකක් බෙදල ගනිං බං...‘
බත් ටික උඩින් පල්ලෙන් කාපු සුන්දරලිංගම් සාලෙ ඇඳේ තිබ්බ පැදුර කෙල්ලො තුන්දෙනා නිදාගෙන හිටි තැන බිම එළලා දාලා ඒකෙ හාන්සි උණා.
‘පාරු... උඹත් නිදාගනිං...‘
‘නෑ අක්කෙ.. මේ ටික අස්පස් කරල දාලා මං එන්නං... උඹ ගිහිං නිදාගනිං...‘
පාර්වතී වළං දෙකට වතුර පුරවල පිළිකන්නෙන් තියල කාමරේට ආවා.
දරු තුන්දෙනාටයි සුන්දරලිංගම්ටයි මැද්දෙ තිබ්බ ඉඩ ඩිංගෙ පාර්වතී හාන්සි වෙද්දි සුන්දරලිංගම් තව ටිකක් එහාට වෙලා පාර්වතීට ඉඩ දුන්නා. රෑ මැද්දක් වෙනකං ඇහැ පියවෙච්චි නැති පාර්වතීට වේගෙන් වේගෙන් ඇහිච්චි උමාගෙ හුස්ම සද්දෙ කොයිවෙලේ මේච්චල් උණාද කියල මතකයක් තිබ්බෙ නෑ.
හතර වටෙන් එළිය වැටිල කියල දැකපු පාර්වතී සුන්දරලිංගම්ගෙ කකුළ හීන් සීරුවෙ අයින් කරගෙන නැගිටිද්දි සුන්දරලිංගම් කෙඳිරිගාගෙන අනිත් පැත්ත හැරුණා.
පාර්වතී වතුර ලිපේ තියලා සීනි බෙලෙක්කෙ අතට ගත්තා. සීනි ඇටයක්වත් ඒකෙ නෑ කියල දැකපු පාර්වතී කාමරේට ගිහිං සුන්දරලිංගම්ගෙ කමිස සාක්කුවට අත දාන ගමං ආයෙමත් පැදුර දිහා බැලුවා. උමාගෙ පපුව උඩින් අතක් දාගෙන සුන්දරලිංගම් ආයෙ නිදි.
*** *** *** ***
තබෝදිනීගෙ කතාව මතක් උණ පාරට පාර්වතීට ආයෙමත් හිනා ගියා. කට හෝදගත්තු උමා පාර්වතී දිහා බලාගෙන හිටියා.
‘මොකෝ බං තනියම හිනාවෙන්නේ...‘
‘අක්කෙ ආ තේ එක...‘
‘පාරු... සුන්දරේට තේ වක් කළේ නැද්ද?‘
‘මේ ජොග්ගුවෙ තියෙන්නේ... උඹම ගෙනිහිං දියං අක්කෙ...‘
උමා ඇස් දෙක උඩ තියාගෙන පාර්වතී දිහා බලං හිටියා.
‘පාරු.... මට සමාවෙයං නංගියෙ....‘
පාර්වතීව බදාගත්තු උමා මහ හයියෙන් අඬන්න ගත්තා.
‘හරි හරි.. නාඩ හිටිං අක්කෙ... අර පොඩි එවුනුත් ඇහැරෙයි බං දැන්...‘
පිටිඅල්ලෙන් කඳුලු පිහිදගත්තු උමා තේ එකත් අරගෙන කාමරේට යනව බලං හිටිය පාර්වතී ලිපේ ගිනි අඟුරු ටික ඇදල දැම්මා. ඒ එක්ක ම පාර්වතී හෙමිහිට පොඩි කාලෙ කියවපු පොතක තිබ්බ තිරුක්කුරලක් හෙමිහිට මිමිණුවා.
‘කෙට්ටාලුම් මේන් මක්කල් මේන් මක්ක‍ලේ -සංගු
සුට්ටාලුම් වෙණ්මෛ තරුම්‘
පාර්වතීටත් නොදැනෙන්න එළියට ආපු කඳුලක් වැටිල ගිනි අඟුරක් චස් ගාලා නිමිල ගියා.

෴ ෴ ෴

No comments:

Post a Comment