Friday, February 8, 2013

එන්න බොරලුපාර දිගේ ඇවිදගෙන යන්න....



නිර්මාණයක කාර්යභාරය කුමක් ද කියන ප්‍රශ්නෙ හැම නිර්මාණයක් ම රස විඳීමෙන් අනතුරු ව අපි හැමෝට ම මතුවෙන සාධාරණ ප්‍රශ්නයක්.. ඒ පිළිබඳ ව අපි එකිනෙකාට තියෙන උත්තරය අනුව අපි අදාළ නිර්මාණය ඒ මිම්මෙන් මැන බලන්නටත් යොමු වන්නේ නිතැතින්මයි...

පෞද්ගලික ව මම නිර්මාණයක් රස විඳින හැම විටෙක ම ඒ නිර්මාණයෙන් සිදු වන තාක්ෂණික සාර්ථකත්වය, සමාජ කර්තව්‍යය වගේ ම පෞද්ගලික ව මා වෙනුවෙන් සිදු කරන මෙහෙය පිළිබඳ අවබෝධයක් යොමු කරනවා... සමහර නිර්මාණවල දී මේ සමාජ කර්තව්‍යය සහ පෞද්ගලික හැඟීම් ආමන්ත්‍රණය යන දෙපාර්ශ්වය ම අඩු වැඩි වශයෙන් සන්තර්පණය වෙන බව මට හැඟිලා තියෙනවා.. මා ඇසුරු කළ නිර්මාණ සියල්ල ම පාහේ එක්කෝ සමාජය වෙනුවෙන් පෙනී සිටින්නක්.. එහෙමත් නැත්නම් පෞද්ගලික ව මා වෙනුවෙන් - මගේ හැඟීම් වෙනුවෙන් පෙනී සිටින්නක්. සමහරෙකුගේ නිර්මාණයක් හුදෙක් මා අරභයා ම නිර්මාණය නොවූ නමුත් ඉන් නියෝජනය වන පොදු යථාර්ථයේ කුලකයට මා ඇතුළු වන්නේ යම් නිර්මාණයක් නිසා ද මම හැම විට ම ඒ නිර්මාණය මගේ හැඟීම් වෙනුවෙන් නිර්මාණය වූවක් බව පිළිගන්නා බව වැඩිදුරටත් කිය යුතුයි... (කෙසේ වුවත් සමහර විටෙක නිර්මාණකරුවාට අතිශය පෞද්ගලික වූ නිර්මාණයක් වුවත් යම් තරමකට මා සලිත කරන්නේ ද ඒ නිර්මාණය - මෙකී දෙපාර්ශ්වයට ම නොවැටුණේ වුවත් - මා හද බැඳගැනීම නිරායාසයෙන් ම සිදු වන්නක් බවත් නොකියා ම බැහැ..)

බොරලුපාර ගැන මා දරන අදහස මගේ හිතැත්තන් අතරට මුදා හරින්නේ නිර්මාණ රසවිඳීම පිළිබඳ මා උදෙසා පවත්නා තත්ත්වය ඒ විදියට පැහැදිලි කරමින්.. බොරලු පාර දැනට මාසයක පමණ කාලයක සිට මා නරඹන්නේ මගේ සහෘද හිතවතියකගේ මඟ පෙන්වීමක් නිසා.. (ස්තූතියි මයුරි අක්කේ)...

ටෙලිනාට්‍යකරණයේ තාක්ෂණික සාර්ථක අසාර්ථකකම් ගැන කතා කරන්නට මම මහා පොරක් නොවන නමුත් තැනින් තැන හිඳ යම් යම් දේ අසා දැක ඉගෙන ගත් දේ නිසා මා වෙත ඒ පිළිබඳ විචාරයක් ඇති බව ඔබට කියන්නට කැමතියි.

මෙම ටෙලිය බලන්නට පටන් ගත් පළමු දිනයේ පටන් අවසාන දිනය තෙක් ම මා ඇද බැඳගත් රංග පෞරුෂයක් දුටුවේ මාදනී මහවත්තගේ නිළිය වෙතින්.. එලෙසින් ම මා නරඹන්නට පටන්ගන්නා අවස්ථාවේ විකාශය වූ කොටස්වල දී ඇය සහ ජීවත් වන අනියම් සැමියාගේ චරිතය රඟපෑ (නම නොදන්නා) නළුවා වෙතින් ද යථාර්ථයට ඉතා සමීප මහා රංග ප්‍රතිභාවක් මා දුටුවා...




 වෙන්දකඩුව (මා දන්නා තරමින් මගේ වරනැගීම නිවැරදි විය යුතුයි) නළුවා වෙතිනුත් චරිතයට අවශ්‍ය කරන්නා වූ ඉසියුම් හැසිරීම් එලෙසින් ම චරිතයට ආරූඪ කිරීමක් දක්නට ලැබුණා... ජගත් මනුවර්ණ ප්‍රතිභාපූර්ණ නවක නළුවා වෙතින් ද එවැනි ම රංග සාමාර්ථ්‍යයක් එක් එක් කොටසේ දී දක්නට ලැබුණා - සැබැවින් ම එය සාමාන්‍ය තත්ත්වයක්. ජගත්ගේ රඟපෑම්වලට මා කැමති වන්නේ කර්ම බැලූ දින පටන්මයි...



 දවසින් දවසට මා නාට්‍යය වෙත ඇද බැඳ තබා ගැනීමට සියල්ලට ප්‍රථමයෙන් සමර්ථ වූයේ අධ්‍යක්ෂවරයා සතු ව ස්වකීය පාත්‍රවර්ගයා අධ්‍යක්ෂණයේ ඇති අතිදක්ෂතාව බව මගේ හැඟීමයි... කෙසේ වුවත් නලින් - රේගන් - වෙතින් මා මීට වඩා රංගනයක් බලාපොරොත්තු වූ බවත් පැවසිය යුතුමයි..

දෙවැන්න පිටපතේ ඇති ප්‍රබලතාවයි... කොටස් කිහිපයක් නැරඹීමෙන් වුව ද (මට මතක හැටියට 15කටත් අඩු ගණනක්) මා නාට්‍යයේ මීළඟ කොටස නැරඹිමේ නොතිත් කුතුහලයකින් පෙළීමට පිටපත සමත් වූවා.. සමහර විටෙක යම් ටෙලි නිර්මාණ මුල සිට අගට නැරඹුව ද කිසිදාක මෙවන් වූ අසාධ්‍ය වූ කුතුහලයකින් මා පෙළී නැත. එසේ ම දෙබස් හැසිරවීමේ දී ඒ ඒ චරිතයට ඉතා ම උචිත වචන ගැළපීම අසහාය ප්‍රයත්නයක් බව හැඟුණා.. විශේෂයෙන් මාදනී පණ පොවන චරිතයේ දෙබස් සහ ජගත් පණ පොවන චරිතයේ දෙබස් මෙන් ම වෙන්දකඩුව මවගේ චරිතයේ සහ නලින් පණපොවන රේගන් චරිතයේ දෙබස් මා සිත් ගත්තා... නමුත් ඇමතිවරයාගේ දෙබස් සමහර විටෙක පවත්නා රැල්ලේ මෙගා ටෙලිවල දක්නට ඇති ජනප්‍රිය යෙදුම් සහගත බාල මට්ටමකට පත් නොවුණේ නම් බොරලුපාරේ දෙබස් පිළිබඳ කිසිදු දෙගිඩියාවක් මා තුළ ගොඩනොනැඟෙන්නට තිබුණා... මෙවන් සාර්ථක පිටපත් රචනයක දී අවසාන කොටස නොරිස්සුම් සහගත හදිසියකින් කියාදැමීමක් වූවාදෝයි මගේ සිතට හැඟීම සැබැවින් ම මා පුදුමයට පත් කරන්නක්..

අවසාන වශයෙන් හෙළි කළ යුතු ව පවතින්නේ සමස්ත නිර්මාණයේ සමාජ කර්තව්‍ය්ය පිළිබඳ මා තුළ ඇති ආදරයයි...

තත්කාලීන ක්‍රමවේදයේ ගොදුරු බවට පත් වෙමින් එහි ම පැසී එයට ම වෛර කරමින් සිටින මා ඇතුළු මගේ සහෝදර සියල්ලන්ට බොරලුපාර සැබැවින් ම සිහිනයක්. බොරලුපාර වෙත ඇති මගේ ආදරය දුටු සමහරෙක් මගේ හීන දැකීම ගැන කුමක් කීව ද මට කීමට ඇත්තේ - ඔව් මම සිහිනවලට දැඩි ව ආදරය කරන්නෙක් - යනුවෙන් පමණයි.. ඒ සිහිනය සැබෑවට වඩා සැබැවින් ම සුන්දර ය... අත්පත් කරගැනීමට තරමක් අසීරු යැයි හැඟෙන තරමට එය සුන්දර ය.. ඒ වුව ද මගේ ජීවන දර්ශනය ‘සිහින දකින්න.. එය ඔබට පාර කියනු ඇත‘ යන්නයි.. බොරලුපාර සිහිනයකි.. ඒ සිහිනය අනාගතයේ අප ගත යුතු මඟ අපට කියාදෙන්නකි... ඊළඟට දැන් ඔබ මතු කරන තර්කය මම පිළිගනිමි.. සෑම පාරක් ම බොරලුපාර ම නොවේ. දැකිය යුතු සිහින තව එමට ඇත. නිවැරදි විය යුතු තැන් තව බොහෝ ඇත... නමුත් මා ඔබට ආරාධනා කරන්නේ යථාර්ථය තුළ බොරලුපාරවල් ද තිබෙන බැවින් එය හඳුනාගන්නටයි... මේ සිහිනය ඔස්සේ ගමන් කරද්දී අප පසෙකින් අනෙක් සියල්ල ගැන ද මෙවන් ම සිහින ගොඩනැඟෙනු ඇත.. එවිට ඔබ මට සහ මගේ සිහිනවලට කිසිවක් නොකියනු ඇත..
එබැවින් බොරලුපාර වූ කලී සමාජ කර්තව්‍යයක් ඉටු කරමින් මගේ (ඔව් මගේ පරම්පරාවේ ම සහ ශ්‍රී ලාංකීය දේශපාලනයේ ගොදුරු බවට පත්වූ සියල්ලන්ගේ ම) හැඟීම්වලට ම ආමන්ත්‍රණය කරන්නා වූ නිර්මාණයක්... එය මම සැබැවින් ම රසවිඳී හැබෑ කාව්‍යයක්..

-වික්ස්-

8 comments:

  1. සුබ පැතමි උබට දිගටම ලියන්නට බොරලු පාර ගැන විතරක් නෙවෙයි උබෙි හිතට එන හැම දෙයක් ගැනම මොකද උබ ලෝකය දිහා බලන විදිහෙ වෙනසට මම කැමතියි ඒවගෙ උන් ගොඩක් ඔිනැ මෙි ගිලෙන නැව වරායකට ගෙනියන්නන

    රවි

    ReplyDelete
  2. බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලිගන්නව... සුබ පැතුම් මල්ලියේ... දිගින් දිගටම ලියමු....

    ReplyDelete
  3. සුභ පැතුම් ..දිගටම කරගෙන යන්න.....

    ReplyDelete
  4. එල දිගටම ලියමු උඹේ ලිවිල්ල ගැන මට ඉතිං කියන්න දෙයක් නෑනේ බන් පටන් පටන් ගත්ත වැඩේ එක හුස්මට දිගටම ඇදගෙන යන්න මගෙන් සුභ පැතුම් ...

    ReplyDelete
  5. නියමයි..බොරලු පාර දිගේ යන්න අපිත් එනවා...වෙනස් පාරක් හදන්න අපෙන් ස්භ පැතුම්

    ReplyDelete
  6. a me aluth ekak patan aran tiyenne :D

    ReplyDelete
  7. දිගටම ලියපන් මලයා.අපේ සුබපැතුම්

    ReplyDelete