Saturday, May 30, 2015

ගෙඩියට සහ පකට ඔබ්බේ යමක් අැත විමසන්න.

කොළඹ යුගයේ සාහිත්‍ය පුබුදුව අනුයමින් මහා සාහිත්‍ය සැණකෙළියක් සිරිලක් පොළව සිසාරා මුළු දුන් බව අප අසා ඇත. 1956 ඓතිහාසික භාෂා තීන්දුවෙන් පසු සිංහල බස කතා කරන්නන් අතිමහත් උද්යෝගයෙන් සාහිත්‍ය සයුර මැද උඩු යටිකුරු පිණුම් ගැසූ බව අප අසා ඇත. පේරාදෙණි බිමෙන් බිහි වූ සාහිත්‍ය චින්තනයේ ප්‍රහර්ෂය අපට පෙර පරම්පරාවේ සාහිතකාමය පුබුදු කළ බව අප අසා ඇත. ඊට ද පසු 1977 සහ පසුකාලීන විප්ලවවාදී නැගී සිටීම්වල දී ද සාහිත්‍යයේ කුදුමහත් සකලවිධ අංශයන් විප්ලවීය රසයෙන් සුවඳවත් වූ බව අප අසා ඇත. අපට ආසන්නතම මෑත අතීතයෙහි මෙකී විප්ලවීය රසය ගෙන ආ අප දකින සාක්ෂ්‍යකරුවන් වන්නේ නන්දා, සුනිල්, මාධව, පරාක්‍රම, ප්‍රේමකීර්ති ඈ සාහිත්‍යකරුවන් ය. නිර්මාපකයන් ය.

අප සමඟ සාකච්ඡා කරන බොහෝ දෙනෙකුට අද පැන නැඟී ඇති ගැටලුව වරක් මාර්ටින් ලූතර් කිං පැවසූ ආකාරයට මේ යුගයේ ඛේදවාචකය වනුයේ හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි. ලක් පොළොවේ බිහි වූ ඒ මහා සාහිත්‍යධරයන් අද කොතැන ද?

සමූහ දූෂණයට ලක් වූ නීතියත්, ආත්මාර්ථය උදෙසා වන දේශපාලනයත්, සල්ලාල ආර්ථිකයත් එක් ව මේ සාහිත්‍ය කතිකාව ගසා කෑ බව සාරාංශගත කළ විමසුමක දී හෙළි වේ. වත්මන් සාහිත්‍ය ලෝකයෙහි පවා අවාරෙට ඵල දෙන කොස් වැනි සාහිත්‍ය නිර්මාණ විනා බුද්ධිමත් සංවාදයකට සිංහල කියවන සමාජය මෙහෙයවන සාහිත්‍ය නැඹුරුවක් ඇති නිර්මාණ නොමැති තරම් ය. එසේ බිහිවන නිර්මාණ අතලොස්ස ද කපා කොටා, සමාජගත නොකිරීමේ කුරිරු පීඩනයන්ට හසු කර, රටින් පිටුවහල් කිරීමේ බියකරු බලධාරී පසුබිම ද අද අප ඉදිරියෙහි දක්නා යථාර්ථයයි. සිංහල කියවන සමාජයෙහි බුද්ධිමත් චින්තන ප්‍රවේශය සවිඥානික ව වන්ධ්‍යාකරණයක් සිදු වෙමින් පවතින බව ඉන් ඔබ්බට පැහැදිලි වේ.

තිස් වසරක යුද්ධයෙන් පසු ව දෙමළ පාඨක සමාජය හිස ඔසවන ඒ ප්‍රභාමත් හෝරාව දැන් එළඹ තිබේ. අළු ගසා දමා නැගිටින දෙමළ පාඨකයා කියවන්නට රසවිඳින්නට නිර්මාණ සොයති. එය සපයන්නට මහලු කවීහු කවි ලියති. ගත් කතුවරු වාර්ෂික ව පොත් කිහිපය බැගින් එළිදක්වති. ඒවා සාහිත්‍ය මණ්ඩපවල විචාරය කරති.
සිංහල සාහිත්‍යකරුවා අතින් සිදු නොවූ එක් වැදගත් කාර්යයක් අද්‍යතන දෙමළ සාහිත්‍යකරුවා මහත් අභිරුචියෙන් ඉටු කරමින් සිටී. පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධිගලනය නිරුත්සාහක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වුව ද පරම්පරා නිර්මාණ ශක්තිය එසේ ගලා යාමක් නොමැත. එය උත්සාහයෙන් සිදු කළ යුතු ය. එය සිදු කිරීමට නොපෙළඹීම ම සිංහල සාහිත්‍ය සම්ප්‍රදායේ ඉදිරිගමනට ප්‍රාමාණික බාධාවක් වූ බව අපගේ අදහසයි. 1950 දශකයේ පරම්පරාවෙන් පසු පරම්පරා වෙත මෙකී සාහිත්‍ය පුරුදු ගලා යාමක් සිදු නොවූ බැවින් අතලොස්සක් දෙනා හැරෙන්නට ඉතිරි ව ඇත්තේ රික්තයකි.

මෙය තත්ත්වාකාරායෙන් ම ග්‍රහණය කරගන්නා දෙමළ සාහිත්‍යකරුවා නූතන තරුණ පරපුරට සාහිත්‍ය පුරුදු දායාද කිරීමට ස්වේච්ඡාවෙන් පෙරට එති; ඔවුහු සාහිත්‍ය සමුළු පවත්වති; වැඩමුළු පවත්වති; තරග පවත්වති; ජයග්‍රාහකයන් අගයති. මෙය දකුණේ සිංහල සාහිත්‍ය ප්‍රජාවට සාපේක්ෂ ව ඉතා බැරෑරුම් ප්‍රගමනයක් ලෙස අපි දකිමු.

මෙම බුද්ධි දායාදය 1940 දශකයේ නිදහස් නෑඹුල් සිරිලක සිංහල සාහිත්‍ය පරපුරෙහි කෙසේ සිදු වී ද යන්න අපි නොදනිමු. 1950 දශකයේ සිංහල භාෂා පුබුදුවේ දී මෙම මඟ පෙන්වීම සිදු වී ද යන්න ද නොදනිමු. 1977 සහ පසුකාලීන විප්ලවවල දී මෙය සිදු නොවූ බව පමණක් දනිමු. එය සිදු වීම වැළැක්වීමට පැවති රජය සියලු තැත් දැරූ බව ද ලජ්ජාවෙන් සිහිපත් කරමු.

නමුදු පශ්චාත් යුද වාතාවරණයක මේ පිබිදෙන සාහිත්‍ය දායාදකරණය නම් වැළැක්වීම සිදු නොවිය යුතු ම ය. එය සිදු කෙරෙන තැන් දැනට නොමැති වුව ද ආණ්ඩුව දෙමළ බස නොදන්නා තාක් එය සිදු නොවෙනු ඇත. යම් දවසක මෙම සාහිත්‍ය ප්‍රබෝධයට වැරදි අර්ථකථන ලබා දී අහිංසක වීරකුට්ටි කවියා තවත් ප්‍රේමකීර්ති කෙනෙක් කරන්නට කාගේ හෝ අදිසි හස්තයකට අවකාශ සහ ආශාව ඇති විය හැකි බව අපට දැනේ.
සිංහල සාහිත්‍යය වල් වැදී හමාර ය. පරම්පරාවෙන් පරම්පරාවට සාහිත්‍ය පුබුදුව ගලා යාම සිදු නොවීම එයට මූලික ම හේතුව විය. එසේ නම් දමිළ සාහිත්‍යය ද එසේ ම වල් වැදීමේ අවදානම සකල ශ්‍රී ලාංකිකයා ඉදිරියේ ඇත. එම අවදානම බැහැර කිරීම දෙමළාගේත් සිංහලයාගේත් පරම යුතුකම වන්නේ ය.


1 comment:

  1. හොද සිංහල පොත් ටිකක්වත් දෙමළට පරිවර්තනය වෙනවනම්......මල්ලි ඔන්න අවස්ථාව

    ReplyDelete