Saturday, May 30, 2015

රත්තරං එ. රත්තරං (පළමු කොටස)

කවදාවත් නැතුව රත්තරං ගෙදර දුවං ආවෙ 'පොඩි පුතේ' ගාගෙන... සුවර්ණා සාය තනමත්තට ඇඳගෙන රෙදි හෝද හෝද හිටියෙ.. රත්තරංගෙ කටහ‍‍‍ඬේ මොකුත් නමුත් අමුත්තක් ඉවෙන් දැනිලා වගේ සුවර්ණා ‍‍හෝද හෝද හිටිය සරම බේසමට අතෑරලා දාලා ගේ ඉස්සරහ පැත්තට දුවගෙන ආවා.
රත්තරංගෙ අතේ තිබුණේ හබල දඩස් ගාලා පැත්තක ගොඩ ගහල තිබ්බ බොලොක්ගල් ගොඩ උඩට විසි කරනවා සුවර්ණා බලං හිටියෙ ඇස් උඩ තියාගෙන... කවදාවත් මාලු පාඩුවට හයිය දෙන හබල ඔරුවෙ තනියෙන් දාලා එන පුරුද්දක් රත්තරංට තිබ්බෙ නෑ... හැමදා ම උදේ ගෙට ගොඩ වෙද්දි හබල බිත්තියට හේත්තු කරල හරි ඉක්මන් තප්පර ගාණක් අනිමිස පූජාවක් තියන එක රත්තරංගෙ පුරුද්දක්...

මොකක් හරි අමුත්තක් කියල සුවර්ණට තේරුණත් ඒ මොකක්ද කියල අහන්න ඉක්මන් උණේ නෑ. ඇත්තම කියනව නං සුවර්ණට ඇයි මොකද කියල අහන්න කට හො‍ලෝගන්න බැරි තරමට පුදුමෙකිනුයි සුවර්ණ තක්ගැහිලා හිටියෙ..
'පොඩි පුතේ...'
රත්තරනුයි සුවර්ණයි සමීරට එහෙම කතා කළාට තව ලොකු පුතාලා රත්තරංට හිටියෙ නෑ. කසාද බැඳලා අවුරුදු ගාණක් පෙරුම් පුරලා පෙරුම් පුරල බාරහාර වෙලා වතාවත් කරාට පස්සෙ ඉපදිච්ච කොල්ලට 'පොඩි පුතේ' කිව්වෙ දෙන්න දෙමාල්ලන්ගෙ තිබ්බ ඉහවහා යන ආදරේ හින්දමයි.

'පොඩි පුතේ මෙහෙ වරෙං..'
සමීර තාත්තගෙ ඔඩොක්කුවට පැන්නෙ එක පිම්මට. ඉන් එහාට සමීරට රත්තරං මොනා කිව්වද කියන එක සුවර්ණට අහං ඉන්න හම්බුණේ නෑ. රත්තරං රැවුව රැවිල්ලට සුවර්ණගෙ වටපිටාවෙ තිබ්බ ඔක්කොම පඳුරු ටික ගිනිගන්නව වගේ සුවර්ණට දැනුනා. පය ඉක්මන් කරල ආයි ලිඳ පැත්තට ගියෙ ඔන්නොහෙ ඕන මගුලක් වෙච්චාවෙ කියල හිත හදාගෙන.
*** *** *** ***
ඊ‍යෙ හැන්දෑවෙම රත්තරං මාලු පාඩුවට ගිය වෙලේ ඉඳං පොඩි පුතාගෙ ඔලුව අතගගා සුවර්ණා කල්පනා කළේ රත්තරංගෙ අම්මලට ඕනි විදියට ජීවත් වෙනවද නැත්තං පොඩි පුතයි රත්තරනුයි එක්ක කොහේ හරි ගිහිං ජීවත් වෙනවද කියන එකයි.

මුලිම්ම සුවර්ණට රත්තරංව හම්බ උණේ අහුවල් දවසේ ය කියන්න හරියට නිච්චියක් දෙන්නට ම නෑ. පොඩි එකා සන්දියෙ ඉඳං දෙන්න වැව් පිට්ටනියෙ කෝම්පිට්ටු හදන හැටි සුවර්ණට මතකයි. හැමදා ම සුවර්ණගෙ  සෙල්ලං ගෙදර තාත්ත වෙන්න රත්තරං දුවගෙන ආවෙ වැව්බොක්කේ අනිත් කොල්ලො එක්ක රණ්ඩු වෙවී. අන්තිමට වැව්බොක්කෙ කොල්ලො එක්කෝ ම හිතුවා සුවර්ණගෙ සෙල්ලං ගෙදර තාත්ත වීමේ පරම අයිතිකාරයා රත්තරං මිසක් තමන් එකෙක්වත් නෙමෙයි කියලා. සුවර්ණත් මූණිච්චාවට නොපෙන්නුවට රත්තරං තමංගෙ සෙල්ලං ගෙදර තාත්ත වෙනවට කැමැත්තෙන් හිටියා. අනිත් කොල්ලො ටික සෝමාරිකොමට කමිස කෑලි බැනියං කෑලි ගහගෙන හිටියට රත්තරං හැමදා ම වැව්පිටියට ආවෙ කොට කලිසමක් විතරක් ගහගෙන. ඒ හයිකාරකම ගැන පුංචි සුවර්ණට මහ මොකද්දෝ අමුතු ආසාවක් තිබ්බා. 

අන්තිමේදි සුවර්ණගෙ සෙල්ලංගෙදර තාත්ත වෙච්චි පුරුද්දට රත්තරං සුවර්ණ එක්ක වෙනම ගෙයක් හදාගෙන තාත්ත කෙනෙක් වෙන්න ලකලෑස්ති උණේ අවුරුදු අටකට විතර කලින් ඇසළ මාසෙ දවසක.
‘එදා ඉඳම්ම ඔය මිනිහ ඔහොමමයි. පිරිමි ගාය විතරයි. දෙයක් කල්පනා කරලා හිතල මතල කරන්න කියල වගේ වගක් නෑ. මම එපෑ නැන්දම්මලයි වැව්බොක්කේ එවුවොයි එක්ක හැප්පෙන්න.‘

සුවර්ණ බාල්දියෙ තිබ්බ වතුර ටික බේසමට දාන ගමං තමන්ට ම කියාගත්තා...
‘චකස්‘...
බාල්දිය ළිඳේ වතුර උඩට වැටිලා ඔහේ පාවි පාවි තිබ්බා... ලණුව අතිං අල්ලල දෙපැත්තට ගස්සලා ප්ලාස්ටික් බාල්දියට වතුර පුරවගන්න සාත්තරේ සුවර්ණ දැනගෙන හිටියත් අද සුවර්ණ බලාගෙන හිටියෙ     ‘කවද හරි උඹ වතුරෙං පිරියං.. ඕං එතකොට මං උඹව ගොඩ ගන්නං‘ කියන්නැහෙ...
‘පොඩි පුතේ.. මං යනෝ... හැන්ඩියා ආවොත් සල්ලි වගයක් දෙයි... අරං තියාපං...‘
සමීරට තේරෙන සල්ලි තියා... සුවර්ණ යටි හිතිං හිතුවා... රත්තරං සුවර්ණ එක්ක නෝක්කාඩු වෙච්චි වෙලාවට එක එක වැඩ කරන්න පවරන්නෙ සමීරට... ඒ සුවර්ණට කෙළිං කියන්න බැරි කමට මිසක් සමීරට ඔය වැඩ පුලුවන් කියල මෝඩ පහේ අදහසකින් නෙමෙයි.... සුවර්ණ ඒ ගැන අවුරුදු දහතුනක අත්දැකීමෙන් දන්නවා...
රෙදිටික හෝදලා සුවර්ණ ළිඳ ගාවින් මෑත් උණේ නැන්දම්ම වළං දෙකතුනක් අරගෙන ළිඳ ගාවට එන දිහා හොර ඇහෙන් බලාගෙන...
‘ළිං ගාව ඉඳුල් හෝදන්නෙ රොඩියො...‘
දවසක් සුවර්ණ නැන්දම්මගෙ මූණට ම කිව්වෙ අවුරුදු ගාණක් ඉවසල ඉවසල බැරි ම තැන... ඒත් නැන්දම්ම නෙමෙයි ඒව කණකටවත් ගත්තේ...

‘පොඩිපුතේ... තාත්ත කොහෙද ගියේ...‘
‘දන්නෑ...‘
‘මොනවද කියල ගියේ..‘
‘මුකුත් නෑ...‘

හොරහිත.. තාත්තගෙ පුතානෙ... 

No comments:

Post a Comment