Tuesday, April 30, 2013

වෑන් එකක සද්දයක් ඇහෙනවා.....

මෑතකාලීන ඉතිහාසයේ හොර මැර පිරිස් ජනතා නියෝජිතයන් ලෙස පත්වීමට හේතුව බහුතරයකගේ කැමැත්ත නොව සුළුතරයකගේ නිහඬ බවයි...
එම බහුතරය කිසිදු දෙයක දී දෙවැනි වතාවක් නොසිතන තරමට අවංක, ඉතා ඉක්මණින් අන් අය විශ්වාස කරන, ඉතා ම අහිංසක බලාපොරොත්තු ඇති, සමත් වූ විභාග ගණන අඩු නිසා ම සමාජාවබෝධය නැතැයි හංවඩු ගැසුණු පිරිසයි...
සුළුතරය ඕනෑ ම දෙයක දී වරක් දෙවරක් නොව දහස්වරක් සිතන (එබැවින් වංක යැයි වරෙක සමහරෙකු කියන), ලෙහෙසියෙන් කෙනෙකු විශ්වාස නොකරන, ඉතා දීර්ඝකාලීන වූ බලාපොරොත්තු ඇති හෝ සියලු බලාපොරොත්තු සුන් කරගත්, විභාග ඉතා වැඩි ප්‍රමාණයක් සමත් ව සමාජාවබෝධය ඇතැයි සමාජය විසින් පිළිගත් කොටසයි...
නමුත් හොරුන්ට පත්වීම් අවස්ථාවක දී සිය පැවැත්ම සඳහා අවශ්‍ය වන්නේ සුළුතරයේ අවධානය නොව බහුතරයේ කැමැත්තයි...
බහුතරයක කැමැත්ත නින්දිත ලෙස පාවිච්චි කෙරෙන ආකාරය වෙත සුළුතරයේ නිහඬ බව ඉතා ක්‍රෑර ලෙස තර්ජනාංගුලිය දිගු කර සිටියි... නමුත් ඉන් සිදු වන්නක් නොමැත....
මෙකී නිහඬ බව අතහැරි යමෙකු වේ නම් ඔහු සුළුතරයෙන් වියුක්ත වූවෙකු ලෙස සැලකේ. එසේ වූ විට ඔහු වටා කුමන පරිසරයක් ගොඩනැඟේද යන්න අමුතුවක් නොවේ.. ස්වයං වාරණයකින් නිහඬ ව සිටි ඔහුගේ හඬ මර්දනය කිරීමට හොරු වහා සිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනු ඇත... හොරුන්ට බිය ඇති කරගැනීමට අවශ්‍යතාවක් නැත්තේ බහුතරය තමන් වෙත තැබූ විශ්වාසය නැවත රැක ගත යුතු වන්නේ ඊළඟ පත්වීම් අවස්ථාවක දී පමණක් වන බැවිනි. නමුත් ඒ වන විට බහුතරයට සියල්ල අමතක ව ගොස් ඇති බව හොරු දනිති...
කෙසේ වතුදු සුළුතරයෙන් වියුක්ත වූ තැනැත්තා අවසානයේ දී නැවතත් නිහඬ කරනු ලැබූවෙකු බවට පත් වනු ඇත... මෙම නිහඬ බව සමාජයෙන් පිළිගත් හෝ, සමාජ පැවැත්මට උපකාරී වන්නක් හෝ නොවනු ඇත...
එබැවින් සුළුතරය මෙම දෙවැනි නිහඬ බව, නොහොත් නිහඬ කරවීම කෙරෙහි ඇති දැඩි අකැමැත්ත නිසා ම පළමුවැනි නිහඬ බව උතුම් කොට සලකති... හෙවත් විභාග සමත් වූ පමණින් ම සමාජාවබෝධය ඇතැයි පිළිගැනීම සත්‍යය නොවන බවත් එසේ හෙයින් සමාජය කෙරෙහි සැබෑ ආදරයක් සුළුතරය තුළ නොමැති බවත් තහවුරු කරති...
අවසානයේ නිහඬ බව විසින් විනාශ කරනු ලබන්නේ සුළුතරය පමණක් නොව බහුතරය ද ඇතුළු සමස්ත සමාජ දේහය ම ය... රැකෙන්නේ තව තවත් හොරුන් ම ය..

Monday, April 29, 2013

බිස්කට් ඇඩ් එක, නුඹ සහ මම

.
බස් එකක යද්දිත්
කාගෙන්දෝ අහගත්තු උපදෙසකට
අනේ මං
අහක බලං හිටියා
අත්කොට හැට්ට දිහා නොබලා ම...

උදව්වක් ඉල්ලපු හැමට ම
උදව් කළා මං
කාගෙන්දෝ අහගත්තු උපදෙසකට
හැන්දෑවට සමර් හට් එකකට
එන්න නොකියා ම...

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ සුරම්‍ය බව
නුඹත් එක්ක අකුරුකරන්නට
රැයවල් කීයක් නම්
ගත කළා ද නොපහන් ව...

ඒකයි වැරැද්ද...

නැත්තං මටත්
හරි ලේසියට රහ බලන්න තිබුණා
වැඩිපුර රහ ඇති
ඊළඟ කෑල්ල
කිසි ම අපුලක් නැති ව ම
නංගියෙ
නුඹ ගැන නොහිතා ම....

භාවනාවක් වගේ
උඹ ගැන හිතං හිටි සුනංගුවට
නුඹට
රහවෙයි කියා ඊළඟ කෑල්ල
හිතිච්චි හිත හැංගුවාට
ඔහොම වෙලා ඇත්තට ම මදි නේද
මට ???


-ව්කියා-







මං ජපුරෙ....

‘වික්‍රම
දැන් තනියෙම හිටියා ඇති
හොඳ බර තියෙන අත්තක් බලල
හේත්තු වෙමු නේ???‘

අනේ කොයිතරං විහිලුවක් ද ජීවිතය...

අපේ ම පුංචි ගෙදරක
පුංචි පැටවු තුන්දෙනෙක් එක්ක
උදේට කුරුලු කිචිබිචියත්
රෑට රෑ හඳපානත්
හිතේ හැටියට විඳගන්න
බලං හිටිය අපි දෙන්නට වෙච්චි දේ...

නංගිට දැන්
ගෙදරින් කටයුත්තක් හොයනව ඇති...
මටත් හැමෝ ම පරස්තා හොයනවා...

අපි මෙතන නවතිනව කියල
ඩිංගිත්තක්වත් හිතුණා නං..
මමත් අද
වියත් සබා මැද සමාජසීලි....

මට ඒක නැති කළේ මගේ ආදරය ද?
මට එහෙම හිතන්න බෑ...

මං එදත් වියත් සබා මැද සමාජසීලී....

එක ම දේ
මගේ වියත් සබාවෙ
මගේ පණ - ඒ ඔයා - නෑ...
මට ඒ සබාවෙ
සමාජසීලී වෙන්න
පුදුම අමාරුයි නංගි....

එන්න...
එකවතාවක්
හුළඟක් වගේවත්
ඇවිත් යන්න එන්න...

Sunday, April 28, 2013

ඉන්විටේෂන්...


අන්තිම දවසෙත් මං ඇහුවෙ ඔයාගෙන්
මෙච්චර දවසක් මට කිව්ව කතන්දර බොරු ද???
ඔයා ලේසියෙන් කිව්වේ
‘ඔව් ඔයාට ඕනිනං එහෙම හිතන්න‘
-ඒකත් මට ඕනි නං-
මට ඒක ඔයා තරං ලේසියට
මගේ හිතේ අසල්වැසියන්ට කියන්න අමාරුයි නංගි...

අපි ඇවිදං ආපු ලව්ලේන්වල
ආයෙම අනිත්පැත්තට හැරිලා යන්න සිද්ද උණත් කමක් නෑ...
ඒ යද්දි
අපේ පිටිපස්සෙන් ඇවිදං ආපු උන්
මගෙන්
‘මොකද අද තනියම‘ කියල අහද්දි
මං කොහොමද කියන්නෙ
ආයෙ නංගි එන්නෙ නෑ කියලා මගෙත් එක්ක....

අපි දෙන්න එක්ක ම එකට
බශා එකේ වාඩි වෙලා
නලමුදු සුවඳ බලපු
පෙම්වත් ජෝඩුවක්
අදත් මට ඉන්විටේෂන් එවල තිබ්බා...
උන් තාම දන්නැතුව ඇති...
වරහන් ඇතුළේ ‘උඹල දෙන්නට ම‘ කියලත්
ලියල තිබ්බා...
යම්දෝ නොයම්දෝ....

උන්ගෙ මඟුල්වලට
අපේ පැටව්
මල් කුමාරයො කුමාරියො කරන්න
කප්පරක් හීන
ඔයාටත් හොරෙන් හිතේ තියං හිටිය මට
ඔහොම වෙලා මදි නංගි....