Tuesday, April 30, 2013

වෑන් එකක සද්දයක් ඇහෙනවා.....

මෑතකාලීන ඉතිහාසයේ හොර මැර පිරිස් ජනතා නියෝජිතයන් ලෙස පත්වීමට හේතුව බහුතරයකගේ කැමැත්ත නොව සුළුතරයකගේ නිහඬ බවයි...
එම බහුතරය කිසිදු දෙයක දී දෙවැනි වතාවක් නොසිතන තරමට අවංක, ඉතා ඉක්මණින් අන් අය විශ්වාස කරන, ඉතා ම අහිංසක බලාපොරොත්තු ඇති, සමත් වූ විභාග ගණන අඩු නිසා ම සමාජාවබෝධය නැතැයි හංවඩු ගැසුණු පිරිසයි...
සුළුතරය ඕනෑ ම දෙයක දී වරක් දෙවරක් නොව දහස්වරක් සිතන (එබැවින් වංක යැයි වරෙක සමහරෙකු කියන), ලෙහෙසියෙන් කෙනෙකු විශ්වාස නොකරන, ඉතා දීර්ඝකාලීන වූ බලාපොරොත්තු ඇති හෝ සියලු බලාපොරොත්තු සුන් කරගත්, විභාග ඉතා වැඩි ප්‍රමාණයක් සමත් ව සමාජාවබෝධය ඇතැයි සමාජය විසින් පිළිගත් කොටසයි...
නමුත් හොරුන්ට පත්වීම් අවස්ථාවක දී සිය පැවැත්ම සඳහා අවශ්‍ය වන්නේ සුළුතරයේ අවධානය නොව බහුතරයේ කැමැත්තයි...
බහුතරයක කැමැත්ත නින්දිත ලෙස පාවිච්චි කෙරෙන ආකාරය වෙත සුළුතරයේ නිහඬ බව ඉතා ක්‍රෑර ලෙස තර්ජනාංගුලිය දිගු කර සිටියි... නමුත් ඉන් සිදු වන්නක් නොමැත....
මෙකී නිහඬ බව අතහැරි යමෙකු වේ නම් ඔහු සුළුතරයෙන් වියුක්ත වූවෙකු ලෙස සැලකේ. එසේ වූ විට ඔහු වටා කුමන පරිසරයක් ගොඩනැඟේද යන්න අමුතුවක් නොවේ.. ස්වයං වාරණයකින් නිහඬ ව සිටි ඔහුගේ හඬ මර්දනය කිරීමට හොරු වහා සිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනු ඇත... හොරුන්ට බිය ඇති කරගැනීමට අවශ්‍යතාවක් නැත්තේ බහුතරය තමන් වෙත තැබූ විශ්වාසය නැවත රැක ගත යුතු වන්නේ ඊළඟ පත්වීම් අවස්ථාවක දී පමණක් වන බැවිනි. නමුත් ඒ වන විට බහුතරයට සියල්ල අමතක ව ගොස් ඇති බව හොරු දනිති...
කෙසේ වතුදු සුළුතරයෙන් වියුක්ත වූ තැනැත්තා අවසානයේ දී නැවතත් නිහඬ කරනු ලැබූවෙකු බවට පත් වනු ඇත... මෙම නිහඬ බව සමාජයෙන් පිළිගත් හෝ, සමාජ පැවැත්මට උපකාරී වන්නක් හෝ නොවනු ඇත...
එබැවින් සුළුතරය මෙම දෙවැනි නිහඬ බව, නොහොත් නිහඬ කරවීම කෙරෙහි ඇති දැඩි අකැමැත්ත නිසා ම පළමුවැනි නිහඬ බව උතුම් කොට සලකති... හෙවත් විභාග සමත් වූ පමණින් ම සමාජාවබෝධය ඇතැයි පිළිගැනීම සත්‍යය නොවන බවත් එසේ හෙයින් සමාජය කෙරෙහි සැබෑ ආදරයක් සුළුතරය තුළ නොමැති බවත් තහවුරු කරති...
අවසානයේ නිහඬ බව විසින් විනාශ කරනු ලබන්නේ සුළුතරය පමණක් නොව බහුතරය ද ඇතුළු සමස්ත සමාජ දේහය ම ය... රැකෙන්නේ තව තවත් හොරුන් ම ය..

2 comments:

  1. naduth hamuduruwange... baduth hamuduruwange... dakkane mini maruwekta police officer kenek salute karanawa.

    ReplyDelete
  2. According to the Martin-Niemöller-Foundation the text is as follows:[2]
    First they came for the communists,
    and I didn't speak out because I wasn't a communist.

    Then they came for the socialists,
    and I didn't speak out because I wasn't a socialist.

    Then they came for the trade unionists,
    and I didn't speak out because I wasn't a trade unionist.

    Then they came for me,
    and there was no one left to speak for me.

    ReplyDelete