Monday, February 11, 2013

යුක්තිය - යුතුකම් සොයා පියඹමු..




බඩුමිළ, ඉසෙඩ්-ස්කෝර්, රිසානා, හලාල්, බාලතෙල් එක්ක අනෙක් ඔක්කොම රටේ දැවෙන ප්‍රශ්න එක් පැත්තකටත් සුජාත දියණිය අනික් පැත්තටත් දාලා මැනල බැලුවොත් සුජාත දියණිය බර වැඩි ජාතික ප්‍රශ්නයක් වෙච්චි හැටි පහුගිය ටිකේ ම බුකියේ සැරිසරද්දි මං ඇහුවා දුටුවා...

මේ ගැන මට තියෙන අදහස ගැන මට ම ලොකු විවේචනයක් තියෙනවා... ඒ මං චංගුමී ගැන කතා කරන්න අයිතියක් තියෙන එකෙක් නොවීම... මුල ඉඳන් මං මේක බැලුවේ නෑ... අහම්බෙන් නාලක අයියගෙ සහ මයුරි අක්කගෙ විවරණවලින් පස්සේ මමත් මාස දෙකක් පමණ මේ නාට්ටිය බැලුවා... ඒ කාලය තිස්සෙ නාට්ටිය මඟ ඇරුණේ ඕනිනං කොටස් පහකටත් අඩු ගාණක් නොවැළැක්විය හැකි හේතු හින්දා... ඒ තත්වෙ හින්දා මේ අදහස් දැක්වීම ගැන මට ම මුල පිරීමේ දී කරුණක් කියන්න ඕනි... නාට්ටියෙ චරිත ගැන අදහස් දක්වන්න මං පෝසත් නෑ...

නාලක අයියා ඕනෑ ම දේකට හොඳ හෝ නරකයි කියල කියද්දි සෑහෙන දුරකට ඒ ගැන හොයා බලන එකත් මේක බලන්ට කියල මාව පොළඹවාපු එකක් වග නොකියා ම බෑ.. අන්තිම අන්තිම හරියේ දී මං තමයි නාලක අයියටත් සමහර එපිසෝඩ් මුල හිට අගට කිව්වෙ... අනික මගේ තවත් යාලුවෙක්. මයුරි අක්කා.. ඒකි හොඳ පොතක් හම්බ උණත්, හොඳ චිත්තරපටියක් ආවත්, හොඳ මනුස්සෙක් හම්බ උණත් මට කතා කරලා ආස්සරේ කරල බලපන් කියන ජාතියෙ කෙනෙක්.. සුජාත දියණි ගැන හොඳ රෙකමන්ඩේෂන් එකක් දුන්නා ඔක්කොම හෙවිලි බැලිලිවලින් පස්සේ... ඒක සුජාත දියණිය බලන්න මට ආසන්නතම හේතුවක් උණා...

සුජාත දියණි බලන්න පටන්ගන්න කාලෙ ම බුකිය හරහා ඉතා විශාල සුජාතාදියණි විරෝධීන් පිරිසක් තමන්ගෙ සටන ව්‍යප්ත කරන්න පටන් ගත්තා.. ඒ වෙනකං තිබ්බ හැම ප්‍රශ්නයක් ම යටපත් කරගෙන සුජාත දියණිය බලන්නන් දුටු තැන මරා එල්ලන්නට තරං වෙච්චි ආරෝවක් ඒ හැම පෝස්ට් එකක ම මං දැක්කා.. ඇත්ත ම කියනවනං මට සුජාත දියණි නොකඩවා බලන්න මේ තහංචි රැල්ලත් ඍජු හේතුවක් උණා... මට ඕනි උණේ මේක මේ කියන තරං ජරාවක් ද එහෙම නැත්තං මේ තරං කියවන්න දෙයක් ද කියන එක මට ම පත්තියං කරගන්න...

සුජාත දියණි නාට්ටිය බලන හැම දාට ම මට මතක් උණේ පොඩි කාලෙ මං බලාපු ඔෂීන් ටෙලිය... කොටස් බරගාණක් තිබුණු ඒ කතාව පොඩි ම පොඩි කාලේ බැලුවට ආයෙ කවදාවත් බලන්න හම්බ උණේ නෑ. අපේ ගෙදර ටීවී එකක් නොතිබිච්ච හින්දා අහල පහල ගෙවල්වලින් උණත් හැමදාම බලල මතක තියාගන්න තරං මං ඔෂින් බලල නෑ... ඒත් ඒ කතාවෙයි මේ කතාවෙයි ආකෘතිමය එකඟත්වයක් තියෙනව කියල බලන බලන හැම කොටසකින් ම මං දැක්කා...

එකක් මේ කතා දෙකේ ම අපේ ටෙලිනාට්ටිවල දකින්ට නැති විදියේ සංයමයකින් චරිත හැසිරීමක් දකින්ට තිබුණා.. අපේ නාට්ටිවල ගොඩක් දුරට දකින්ට තියෙන කලබලකාරී ගතිය වෙනුවට ගොඩක් උද්වේගකර වේලාවක උණත් ආචාරශීලි සතර අභින භාවිතයක් මේ නාට්ටි දෙකේ ම තියෙනවා.. ඒ හින්දා වෙන්නැති මං මේ කතාව බලන හැම වෙලේක ම මට එක සමාන ගතියක් තේරුණා..

අනිත් එක සංස්කෘතික සමානරූපිතාව... කොරියානු ජපන් සංස්කෘති කියන්නේ එකිනෙකාට මහා වෙනස්කං තියෙන සංස්කෘතින් නෙමෙයි. ඥාතී සංස්කෘතීන්. ඉතිං මේ නාට්ටි දෙකෙත් ඇඳුම, කෑමබීම, ආචාරක්‍රම වගේ ගොඩක් දේවල සමානකමක් දැක්කා.. ඒක අපේ රටේ පවතින දේවල්වලට ආගන්තුකයි... නමුත් ඔෂින් කතාවෙ අපිට වැඩි ඈතකාලෙක වෙච්චි දර්ශන නොතිබුණත් සුජාත දියණිය වටේ තිබ්බ ගොඩක් දේවල් කොරියන්කාරයොන්ටත් මතක නැති ඈත අතීතෙ කතන්දර...

අපේ සමාජය මේ කතන්දර දෙක බාරගත්තු විදිය ගැන මට තියෙන්නෙ පුදුමයක්... ඒක කාලෙ වැරැද්ද කියලත් මට වෙලාවකට හිතෙනවා... ඔෂින් සමාජගත වෙනකොට තිබ්බ සමාජය විකෘති නොවූ රසවින්දනයක් සහිත අවසන් පරම්පරාව විදියටයි මට පේන්නේ.. නමුත් සුජාත දියණිය අවතීර්ණ වෙන්නේ හැම පැත්තෙන් ම ජරාජීර්ණ වෙච්චි ලාංකීය සමාජයකට... ඒ හින්දා මේ කතා දෙක අපේ සමාජය භාරගත්තේ දෙවිදියක සැලකිල්ලකින්... ඔෂින් සමාජගත වෙද්දි පංතිකාඩ් ක්‍රමයක් නොතිබිච්චි හින්දා ද කොහෙද කවදාවත් අපේ පංති කාඩ් එකක් ඔෂින්ගෙ රූපයකින් හැඩ උණේ නැහැ.. අනික ඔෂින්ගේ ඇඳුම් තමන්ගෙ දියණියන්ට මහන්න කියාදෙන පත්තරත් ඒ සමාජය ඇසුරු කළේ නැහැ.. නමුත් චංගුමී සමාජයට ඇතුළත් කරගන්නේ ම මහා වෙළෙඳ භාණ්ඩයක් විදියට.. මං ආදරේ කරපු සමහර සහෝදරයො තමන්ගෙ අධ්‍යාපන ආයතන ප්‍රවර්ධනය කරන්න චංගුමීගෙ රූපය දාලා පෝස්ටර් ගහද්දි උන් යාලුවො නෙමෙයි හොරකඩකාරයො කියල හිතන්න තරං මට අවුල් ගියා... මං ආදරය කරපු චරිත දෙකක් මේ විදියට දෙවිදියකට සමාජගත වීම චරිතවල අවුලක් නෙමෙයි සමාජගත වූ සමාජයේ වැරැද්ද කියල මං හිත හදාගත්තේ ඔය වගේ දේවල් එක පිට පිට මං දකිද්දි... වතුර උණත් තමන් දාන භාජනේ හැඩය ගන්නවා කියන උපහැරණෙ මෙතනට ගැළපෙයි කියලයි මං හිතන්නේ...

චංගුමීට මේ තරං වෛරයක් ඇතිවෙන්නේ පුද්ගල ආකල්ප හින්දා මිස චරිතයේ කිසි ම අඩුවක් හින්දා නෙමෙයි කියල මට තේරුණා... චංගුමී ගැන ගෑණු කියවද්දි අපේ කාලෙ පිරිමි බොහෝමයකට ඒ ගැන අහං ඉන්න බැරි උණා.. ඒකෙත් තියෙන්නේ ආයෙමත්, චංගුමී ගැන ගෑණු කියවීම සහ ඔෂින් ගැන ඒ විදියට ගෑණු නොකියවීම කියන වෙනස විතරයි... චංගුමී දිහා බලපු ගෑණුන්ගෙ ඇස් සහ ඔෂින් දිහා බලපු ගෑණුන්ගෙ ඇස් වෙනස්... සහ ඒ ගෑණුන්ගේ කතා අහං හිටි පිරිමි කන් පරම්පරා ගැප් එකට තදින් අහුවෙච්චි එව්වා.. ඒ හින්දා තත්ත්වය වඩා බරපතළ උණා කියලා මට දැනෙනවා... නැතුව මේ තරං චංගුමී එක්ක තරහ වෙන්න ලංකාවේ පිරිමින්ට අවශ්‍යතාවක් නෑ...

සුජාත දියණියගේත් ඔෂින්ගෙත් මං දකින අනිත් සමානකම හඬකැවීමෙදි අපේ දක්ෂකම... ඒ ඒ චරිතවලට හැබෑවට ම පණදෙන කටහඬක් තෝරාගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.. නමුත් ඒක එහෙම නැතෙයි කියන්න පුළුවන් ජාතියෙ නිර්මාණයක් තාම මං දැකල නැති හින්දා ඒක ගැන වැඩිය කතා කරන එක සුදුසු නෑ වගේ...

සුජාත දියණි එකේ භාෂා භාවිතය ගැන නං අනිවා කතා කරන්න ඕනි.. නිර්මාණයක් විදියට සුජාත දියණි නාට්ටියේ සමාජ පසුබිම එක්ක මේ භාෂාව භාවිතය ඉතාමත් මොළේ ඇති වැඩක් විදියට මට හිතුණා.. මොකද අපේ කාලේ ම අය කරන සමහර රජ කතා, ඓතිහාසික කතාවලත් මේ උපක්‍රමේ ම පාවිච්චි කරනව අපි දැකල තියෙනව... ලියන බාසාවට ගොඩක් දුරට සමාන උණාට මේ බාසාව කතාවට ගොඩක් දුරට ගැළපුණා දිගට ම... මට එක අතකට හිතෙනවා මේ සංයමයක් තියෙන බාසාව අද කාලෙ කට්ටියට නොපෑහුණාවත් ද කියලා.... ඒක එහෙම නොවී තියෙන්නත් විදියක් නෑ අද ජනප්‍රිය වෙන ගීත සාහිත්‍යය දිහා බලද්දි...

නාලක අයියා මේ කතාව බලද්දි ම මට දීපු කොමෙන්ටුවක් මේ අදහස් හුවමාරුව අන්තිමට එක් කරන්න කැමතියි... ඔෂින් කතාව එක්ක බලද්දි සුජාත දියණි කුතුහලෙත් එක්ක බලන්න පුළුවන් කතාවක්... ඊළඟට මොකක්ද වෙන්නේ ඊළඟට මොකද වෙන්නේ කියල කුතුහලෙන් ඊළඟ දවස වෙනකං අපි බලා ඉන්න තැනට සුජාත දියණි සාර්ථක නිර්මාණයක් උණා... ඒ වගේ ම ඔෂින් කතාවෙ වෛරය, කුහකකං වගේ ම ගැරහීම් ඒ තරමට ම නැතත් සුජාත දියණියහි චංගුමී හැම අවස්ථාවක ම වෛරයට, කුහකකම්වලට සහ ගැරහීම්වලට ගොදුරු වෙනවා..
නාලක අයියා දැකපු මේ වෙනස ඇත්තට ම චංගුමීට ආදරය කරන්නට මා පොළඹවපු තවත් එක් සාධකයක්.. රජගෙදර කුහකකං සහ වෛර සමඟ එක් තනි ගැහැණු දැරියක් අතිශය සාර්ථක ගනුදෙනුවක් පවත්වන විදිය සුඛාන්ත විදියට නිර්මාණය කරන එක වර්තමානයේ අපිට මහා අත්වැලක්.. මං එහෙම හිතන්නේ මේ දේශපාලන ක්‍රමයේ දී ත් ආර්ථික පරිසරයේත් ඒ එක්ක ම සමාජ ක්‍රමයේත් ලංකාව තුළ වෛරයන්, කුහකකං අපිට ඒ තරං අරුමයක් නෙමෙයි හින්දා.. ඒවට මුහුණ දෙද්දි චංගුමීට තරමට හැමදේ ම හොඳ ම විදියට නොවුණත් සමහර විට ඒ චරිතය කාට කාටත් හොඳ පූර්වාදර්ශයක් කරගන්න පුළුවන් චරිතයක්.. වැදගත් ම දේ මේ චරිතය හිතලුවක් නෙමෙයි.. චංගුමී කියන්නේ කොරියාවේ බිහි වූ ප්‍රථම ශල්‍ය වෛද්‍යවරිය එහෙම නැත්තං සර්ජන්...

අපේ සමාජය හැම වෙලේ ම හැම හොඳ දේ ම ඉතා ම ආදරෙන් බාර ගන්නේ නැති බව ඇත්තයි... හැබැයි ඒ වගේ ම සමාජයේ ප්‍රතිචාර හැම වෙලේ ම යහපත් නිර්මාණ එල්ල කරගත්තු නිර්දය විවේචන පමණක් ම නොවෙන බව මතක් කළ යුතුමයි... මොකද ‘මහගෙදර‘ ඇතුළු බොහොමයක් මෙගා ටෙලි නවතින්න යම් පමණකට සමාජ විරෝධයත් හේතු උණා කියල මට හිතෙනවා.. ඒත් එක්ක ම මේ විරෝධය යම් දෙයකට එල්ල නොවේ ද ඒ වටින නිර්මාණයක් නොවේ ය කියල හිතාගෙන සමාජ විරෝධය අවබෝධ කරගන්නට උත්සාහ කරන එකත් සාර්ථක නෑ... මොකද ඔය කියන සමාජ විරෝධය අත්‍යවශ්‍යයෙන් ම ටාගට් වෙන්න ඕනි වෙලා තියෙන්නේ බොහෝ නාලිකාවල 7 - 9 බෙල්ට් එකේ යන සීනිබෝල ආදර කතාවලට. නමුත් කොයි කවුරුවත් අඩු ම තරමෙ බුකියෙවත් මේ ගැන කතාවක් නැති එක අරුමයක් නෙමෙයි ද???

අන්තිමට කියන්නේ මං ඔෂීන්ටත් වඩා චංගුමීට ආදරය කරනවා..

-වික්ස්-

5 comments:

  1. හොද සටහනක්...
    බුකියෙනං සමහරු නිකං විනෝදෙටත් එක්ක ඒකට බැන්නා..
    එවුවා ගැනනං කතා කරලා වැඩක් නෑ..
    කතාවක් විදිහට ගත්තම ඒ නාට්‍ය ලංකාවේ මේ වෙනකොට තියෙන මෙගා රැල්ලට හොද ආදර්ශයක් සපයපු එකක් කියලා කියන්න පුළුවං...

    ReplyDelete
  2. කීප සැරයක් හිතල තමයි මේකට කොමෙන්ටුවක් දානවද නැද්ද කියල තීරණය කලේ.
    මොකද මම ඔෂින් බලල තිබුනට චංගුමී එක පාරක්වත් බලල නැහැ.එත් බුකියේ කියවෙච්ච දේවලුත් ,සමහර බ්ලොග් අඩවිවල ලියලා තිබුන දේවලුත් ලංකාවේ කට්ටිය කතා කරපු දේවලුත් නිසා චංගුමී ගැන අදහසක් ගොඩනගාගන්න පුළුවන් .
    මම ටෙලිනාට්‍ය බලන එක නැවැත්තුවේ අයිටීඑන් එකේ පබා යන දවස්වල .මොකද ඒ වගේ හරසුන් ටෙලිනාට්‍ය බලල අපේ වටිනා කාලය නාස්ති කරගැනීමේ අවශ්‍යතාවයක් නොතිබූ නිසා .එත් අතරින් පතර ගිය" කඩදොර" වගේ හොද නාට්‍ය ඉඩ ලැබුණු විදිහට බැලුවා.
    මම දකින විදිහට චංගුමී ජනප්‍රිය වෙන්න හේතුව අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ රසඥතාවය තාම හොද මට්ටමක තිබීම වගේම අලුත් දෙයක් නැරබීමට තියෙන ආශාවත් හේතුවෙන්න ඇති.
    ඇත්තටම ලංකාවේ ප්‍රේක්ෂකයන් හොද මට්ටමේ ටෙලිනාට්‍ය නරබන්න කමෙත්තෙන් හිටියත් ලැබෙන හරසුන් නාට්‍ය බලනවා ඇබ්බැහි වීමකින් වගේ.ඔය නාට්‍ය යන බෙල්ට් එකේ හොද නාට්‍ය දෙක තුනක් පෙන්නුවොත් ඒ බව ඔප්පුකරන්න පුළුවන්.මොකද ඔය වෙලාවට යන මොන නාට්‍යයත් අපේ කට්ටිය නරබනවා එත් හොද දෙයකට පුළුවන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න.එක අර යන එන ගමන් නාට්‍ය බලන එක වගේ නෙමෙයි.
    ලංකාවේ තියෙන බල්ලෝ මරල හරි සල්ලි හම්බකරන ජඩ සම්ප්‍රධාය අනුව ලාභය උපරිම කරගන්න ටෙලි කම්කරුවෝ දාල ටෙලි නාට්‍යයක් කියල එකක් හදල එක මැදට අට අනුවක් ඇඩ් දාල අපේ මිනිස්සුන්ට පෙන්නනවා.මේකේ ඉන්න නළුවෝ කියන ජාතිය රගපානව නෙමෙයි නිකන් පෙනී සිටීමක් විතරයි කරන්නේ.උන් හිනාවෙනකොට අඩනවා වගේ අඩනකොට හිනාවෙනවා වගේ.
    ඕවා බලලා එපාවෙලා හිටිය අපේ අයට චංගුමී රසදුනක් වෙලා කිව්වොත් නිවැරදියි.
    ඉදිරියට තවත් කොරියන් නාට්‍යයක් එනවලුනේ එකත් ඔයවගේ තියෙයි කියල දැනටම පේනවා.
    කොරියාවේ ඇත්තටම හොද ටෙලිනාට්‍ය කලාවක් වගේම හොද සිනමාවකුත් ,සංගීත කලාවකුත් (හැම ජාතියකම සංගීත )තියෙනවා.ඒවා අපේ රටට අලුත් උනාට ලෝකෙට අලුත් නැහැ.අපේ අයටත් ඒවා රසවිදින්න ලැබෙන එක හොදයි,මොකද හොද දෙයක්නම් කොහෙන් ගත්තත් කමක් නැති නිසා
    හොද පොස්ටුවක් දිගටම ලියපන් මලයා .....

    ReplyDelete
  3. දෙකයි පනහේ මෙගා වලට වඩා නම් මේ කතාව ගොඩක් වටිනවා. ඒ වගේ නාට්‍යය බලනකොට සමහර පණ්ඩිත උදවිය කිවුවේ ලංකාවේ උන්ගේ රසාස්වාදය පහල මට්ටමක බැහැල කියල. එත් ඒ පණ්ඩිත උදවියට හොඳ උත්තරයක් චන්ගුමි දුන්න.මේකේ භාෂාව, ඇඳුම් පැළඳුම් එක්ක බලනකොට වර්තමානයේ ජනප්‍රිය වෙයි කියල හිතන්නම බෑ.එත් ඒක එහෙම උනේ නෑ. මිනිස්සු මේක බැලුවේ පිස්සුවෙන් වගේ. එත් මෙගා එකක් මේ විදියට බැලුව කියල හිතන්න අමාරුයි.ගෑනු උදවිය වගේම පිරිමි අයත් චන්ගුමි බැලුව.අන්න ඒකයි වටිනාකම.

    ReplyDelete
  4. කිව්වත් කවුරු මොන විදියට විවේචනය කලත් ඒක කැමැත්තෙන් සහ ආශාවෙන් බලන අයට ඒක නොබලන්න බල කරන්න කාටවත් අයිතියක් නෑ. තමන් ඒක බලන්න අකමැතිනම් නොබලා ඉන්න එක වෙනම දෙයක් නමුත් කාටවත් ඒක වැරදි විදියට විවෙචනය කරන්න බෑ මං ඒකට විරුද්දයි. කවුරු මොනවා කිව්වත් මට තේරුන ව්දියත චංගුමි බහුතරයක් බලන්නෙ ඒකේ මොනවා හරි විශේෂයක් තියෙන නිසානේ ඉතින් එකේන්ම තේරෙනවානේ චංගුමිට කවුරුත් කැමති බව.
    ඒ කථා පැත්තකින් තියමුකො. එක යාලුවෙක් කියපු දෙයක් තමයි එයා චංගුමි කාථාවට කැමති ඒක වේගවත් කථාවක්ලු මොකද ඇදි ඇදි යන්නෙ නැතිලු. ඇත්තටම මාත් එකගයි ඒ කථාවට. අය්යා කිව්වා වගේ ඊළගට මොකද වෙන්නෙ කියන කුතුහලෙන් තමයි කථාව ඉවර වෙන්නෙ අන්න ඒකට මං කැමතියි. අනික තමයි මටත් කථාව බලනකොට හිතුනා හඩ කැවීම් WOOOOOW කියලා. මං වගෙ නෙවෙයි අයියාටත් එහෙම හිතුන එකට මටත් සතුටුයි.
    ඔය හැමදේම මැද චංගුමි දැන් ඉවරයි. හොද දේ හොද විදියටත්, නරක දේ නරක විදියටත් දැකලා නරක බැහැරලා හොද දේ ගන්න පුරුදු වෙමු. අන්න ඒ වගේ චංගුමි කථාවෙනුත් ගන්න පුලුවන් හොද අරගෙන හොද විදියට දකින එකයි වැදගත්. මොකද මට තේරේනවා ඒකෙන් ගොඩක් දේ ගන්න පුලුවන් කියලා අන්න ඒ නිසා මමත් චංගුමීට ආදරය කළේ. ඔෂින් අවසන් වු පසුව ආරම්භ වු සුජාත දියණි මුලදි නොබලන්න තීරණය කරගෙන සිටියත් දිනෙන් දින එය නැරඹීමට මා උනන්දු කරවුයේ එහි තිබු ඔන්න ඔය කියන විශේෂන්ග නිසයි. මොකද මම සිතුවෙ මෙයත් සාම්ප්රනදායික තවත් ටෙලියක් යැයි සිතූ නිසයි.
    ඔන්න ඔය විදියට කවුරු මොනවා කිව්වත් ලංකාවෙ ටෙලි අතර ලොකු වෙනසක් කරන්න චංගුමීට හැකි වුනා. ඒ ගැන සතුටු විය යුතුයි එය වෙන රටක නිෂ්පාදනයක් වුවත්. මොකද ඒ මම හොද දේ හොද විදියට දකින නිසාවෙන්. බොහෝම ස්තූතියි අය්යේ මට මගේ අදහස් ලියන්න තැනක් හැදුවට නැත්නම් මම මේවා කොහේ ලියන්නද???????

    ReplyDelete
  5. අපෝ මම ටෙලිනාට්‍ය නොබලමි(dilan thivanka)

    ReplyDelete