Saturday, February 9, 2013

මා මළ පසු ව උන් සුවඳක් දැනුණාවේ...

උදේ ම නැගිට්ට හැටියෙ යාලුවෙකුට කෝල් එකක් ගත්තා...

මචං මොකෝ ලයින් එක.. අද පරසතුමල් බලනවද??

මං බැලුව මචං කළින්.. අද බලන්න වෙන එකක් නෑ.. ඒත් උඹ අනිවා බලපං.. ගාමිණී ෆොන්සේකාගෙ පට්ට ඇක්ටින් ටිකක් තියෙනවා... බැලිය යුතු ෆිල්ම් එකක් මචං..

ඕකේ බායි මචං...

අපේ තාත්තල කොල්ලො කාලේ බලපු පික්චර් ගැනත් ඔය විදියට ම කතා වෙන්න ඇති.. පාවිච්චි කරන වචනවල මොනා හරි වෙනසක් තිබුණත් නැතත්, අපේ තාත්තත් ඔය විදියට ම කමෙන්ටුවක් දෙන්න ඇති සමහර ෆිල්ම්වලට...

පරසතුමල් චිත්‍රපටය නරඹලා මට හිතුණ දේ ගැන කියන්න කල්පනා කළේ හා හා පුරා කියලා මං මේ බ්ලොග් එකට ලියන කුළුඳුල් කතන්දරේනුත් ඒ නිර්මාණය කරපු මිනිස්සුන්ට ගෞරවයක් වෙන්න කියලා හිතාගෙන... (මගේ පළවෙනි පෝස්ට් එක මීට කළින් බුකියෙ දමාපු එකක්...)

බොනී මහත්තයා -
නෂ්ට වේ ගෙන යන වැඩවසම් ක්‍රමයක සංකේතයක් කියල බැලු බැල්මට පෙනෙන විදියට ගොඩ නඟපු මේ චරිතය ඇතුළෙන් උඹෙත් මගෙත් හිත් ඇතුළේ සිටිය හැකි ජාතියෙ අති සංවේදී ජීවියෙක් මතු වෙන්නේ අපි නොහිතන විදියට.. විස්කි, සිගරට්, ළමිස්සියන්ගේ තොල් එක්ක සෙල්ලං කරන මේ හාම්පුතා සතු ව ඇත්තේ කළු පාට ම පමණක් නොවන චරිතයක් කියල අපිට හැඟෙන්න පටන් ගන්නකොට හීන් ආදරයක් බොනී මහත්තයා ගැන ඇති වෙනවා... ඒක හරියට ම ටච් කරන්නේ චිත්‍රපටයේ ම තවත් චරිතයක්.. ඒ බොනී මහත්තයාගේ අහිමි පෙම - කමලා..

කමලා - මහත්තයා, අමාරිස්ටත් වඩා මං මහත්තය ගැන දන්නවා.
බොනී - කෙල්ලෙ උඹ කොහොමද මං ගැන දන්නේ?
කමලා - ඒක මං දැනගත්තේ මහත්තය ගොයම් කොළේට ගිනිතියාපු දවසෙමයි...

බොනී මහත්තයා අපි අතරත් ඉන්න සමහරුන්ට හුඟක් ළඟ චරිතයක්.. පුරුද්දක් විදියට මං මිනිස්සු ආශ්‍රය කරද්දි සමහරු දුටු පමණින් එපා වෙලා අතෑරලා දාන චරිත.. නමුත් ඒ මිනිස්සු අහම්බෙන් හරි ආශ්‍රය කරන්න චාන්ස් එකක් ලැබුණා ම උන්ගේ ලස්සන හිත් අතපතගාන්න හම්බ වෙනවා... ඒ එක්ක අපේ චරිත විග්‍රහයන් ගැන ම නැඟෙන්නෙ පිළිකුලක්...
මේ චරිත විග්‍රහය එක්ක ම බොනී මහත්තයා දිහා බලාපු මටත් අන්තිමට බොනීගෙ මරණය වෙනකං ම ටිකෙන් ටික වැඩෙන පැළයක් වගේ බොනී ගැන ආදරයක් ඇති වෙනවා.. අවසානයේ මගේ මුලින් සඳහන් කළ පිළිකුල මිශ්‍ර කළකිරීම චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසින් ම අකාමකා දැමීමට උත්සාහයක් දරනවා.. (එත් පුද්ගලික ව මටවත් මගේ චරිත විග්‍රහය ගැන ඇති වෙන කළකිරීම ලේසියෙන් මකන්න බෑ...)

ගාමිණී ෆොන්සේකා -

 
ලංකාවේ සමාජය විසින් මරා දැමූ තව වසර ගණනාවක් ජීවත් විය යුතු ව සිටි මනුස්සයෙක්.. කාලයක් මං දැනට ඉන්න පළාතෙ ආණ්ඩුකාරවරයා විදියටත් වැඩ කරලා හොඳ වැඩ රැසක් කරා කියල ආදරෙන් සිහිපත් කරන මිනිහෙක්.. ඒත් නිහඬ ව මැරුණා.. චිත්‍රපටය අන්තිමට කෝල් එකක් ගත්තු යෙහෙළියක් කිව්ව වගේ ‘උගෙන් අපේ ෆිල්මිං ෆීල්ඩ් එක වැඩක් ගත්තෙ නෑ බං..‘ (මං එතකොටයි දන්නේ මේක ගාමිණී ඉතා ලාබාල වියේ කළ අධ්‍යක්ෂණයක් කියලා. අත්දැකීම් එක්ක ගාමිණී අත්කරගත් දැනුම භාවිත කරලා පස්සෙ කාලෙක මීට වඩා සුපිරි ෆිල්ම් එකක් කළා ද කියල මට සැකයක් තියෙනවා.. දන්න අය උදව් කරන්ටලා...)..

කමලා -
කමලා චිත්‍රපටියේ දැවැන්ත චරිතයක් කියල බැලු බැල්මට පෙනුණත් මට කමලාගෙන් පෙනෙන්නේ ඉතා ම සාම්ප්‍රදායික ගමේ ගැහැණු ළමයෙක් විතරයි... ප්‍රතිපත්තිමය ප්‍රේමයක් විශ්වාස කරන, අම්මාට තාත්තාට සුවච කීකරු, ගමේ හයිකාරයෙක් ගෙට පැමිණෙන විට දුවගොස් කාමරයට වැදී දොරරෙද්දෙන් හොරෙන් බලා සිටින, ළිඳ ළඟටා යන්න එපා කබරගොයා කයි කීමට තරම් හිත්දෙන රූ සපුවක් ඇති ගැමි කෙල්ලක් කමලාගෙන් මට පෙනුණා.. ඒත් පිටපත විසින් ඒ කෙල්ල මහඅම්මණ්ඩියකටත් නැති තරම් පිරිපුන් චරිතයක් බවට අන්තිමට පත් කරනවා... බොනී මහත්තයා හඳුනාගැනීම එහි උච්චතම අවස්ථාවයි කිව්වොත් මගෙ හිතට එකඟයි...

සිරිසේන සහ අමාරිස් -

සාම්ප්‍රදායික වැඩවසම් ශ්‍රී ලාංකීය සමාජයේ හාම්පුතුන්ගේ සුරතලුන් දෙදෙනෙක්.. එක් අයෙක් බංගලාවේ ම ඉපිද එහි ම මිය යන අති සුන්දර මනුෂ්‍යයෙක්.. අනෙකා මෙම වැඩවසම් චාටර් වැඩවලට එදිරි ව යන පුද්ගලයෙක්.. ඒත් මේ දෙවැන්නා මානුෂීය හැඟීම් නිසා ම එදිරිවීමේ ක්‍රියාමාර්ගය නිහඬතාවක් බවට පත් කරගන්නවා අවසානයේ දී.. අමාරිස් නම් වූ මේ පළමුවැන්නා වැඩවසම් ක්‍රමයේ හාම්පුතුන්ගේ කටු කන බල්ලන් වඩාත් සැරයි කියන කතාව වෙනස් ඇහැකින් දකින සහ අනුකම්පාසහගත ඇහැකින් ඒ චරිතය දිහා බලන්නට අපිට ආරාධනා කරන පුද්ගලයෙක්... (මේ චරිතයට පණ පොවාපු නළුවා කොහොමත් මගේ සිත් ගත්තෙක්)...














මැගී සහ නෝනි -
ස්ත්‍රී චරිත දෙකක් උණාට දෙපැත්තකට යන චරිත දෙකක්.. පළමුවැන්න වැඩවසම් හාම්පුතුන්ගේ ගොදුරු බවට පත් වෙන සාමාන්‍ය ගැමි දුප්පත් කෙල්ලකගේ කතාවක්.. දෙවැන්න ඉන් ඔබ්බට ගිය වැටිච්ච ළිං කටෙන් ම ගොඩ ඒමට තතනන ගැහැණියක්.. නමුත් අධ්‍යක්ෂවරයාගේ ප්‍රයත්නය සාර්ථක කරමින් අපි අනුකම්පාසහගත ඇහැකින් බලා හුන් පෙර කී සාමාන්‍ය දුප්පත් ගැමි කෙල්ල ඇදහිය යුතුයි කියල හිතෙන තරමට අපි ඇද බැඳගන්නට මැගී සමත් වෙනවා.. නෝනිගේ එඩිතර හිතුවක්කාර ගතිසොබා චිත්‍රපටයේ අන්තිම වන විට ගැහැණු චරිතයේ සියුම් කළු පාර්ශ්වයට වඩා බර වෙමින් අවසන් වෙනවා..

පරසතුමල් ගීත සහ සංගීතය -
කිසිවක් නොකියන්නයි කියල හිතුවේ අහල ම බැලුවොත් වටින හින්දා... පෙම්වතෙක් දකින්නට, විරහවේ දුක විඳින්නට, මරණයට ආදරය කරන්න මේ චිත්‍රපටයේ හැම ගී පදයක් ම සහ හැම ස්වරයක් ම උඹට මට ආරාධනා කරනවා...

මේ ඉන් එකක්...

කැමරාව සහ ආනුශංගික තාක්ෂණය -
සමකාලීන තාක්ෂණ භාවිතය දිහා බැලුවා ම මේ චිත්‍රපටයේ කැමරාව ගැන සෑහෙන ඇගයීමක් මට තියෙනවා.. නමුත් ඊටත් වඩා ආලෝකකරණයේ උත්කෘෂ්ට දක්ෂතාවක් මුළු කෘතිය පුරා ම මට දැනුණා.. චිත්‍රපටයේ එක් අවස්ථාවක බොනී මහත්තයා තරප්පු පෙළ සිට වෙරිමතින් වෙව්ලන කොටසෙ දි ආලෝකකරණයේ අතිදක්ෂතාව මං දුටුවා.. විශේෂයෙන් මතක් කරන්න ඕනි අවස්ථාවක් තියෙනවා.. එක් අවස්ථාවක සිරිසේන - නෝනිගේ අලකලංචිය සිදුවූ මුල් දිනවල - තමන්ගේ හිතේ තියෙන කැළඹිල්ල එක්ක සටන් කරනවා.. ඒ දර්ශනයේ දී බිම වැටිච්ච කුරුමිණියෙකුගේ සමීප රූපරාමුව මාව සසල කළා...

පරසතුමල් සමස්තය -
මං ආදරේ කරන චිත්‍රපටයක් උණා මේ දැන් ටිකකට කළින්... දකින දේවල්වල නොදකින පැත්ත ගැන කතා කරන මිනිස්සුන්ට සහ නිර්මාණවලට මං ආදරෙයි කවදත්...

ජාතික රූපවාහිනිය -
පරසතුමල් 2013-02-09 දින දවල් 1ට ජාතික රූපවාහිනියේ ප්‍රචාරය උණා.. ජාතික රූපවාහිනිය කොයි තරං දුරට වොෂින් මැෂින් එකක් උණත් මේ වගේ නිර්මාණ බලන්න අවස්ථාව දෙන එක ගැන අපේ පරම්පරාවෙ වෙනුවෙන් කවුරු කවුරුත් තෑන්ක් කරන්න ඕනි..

එක ම එක අවුලක් තිබුණා... චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අවශ්‍ය ම තැන්වලට චරිතය විසින් ඉල්ලන ලෙසට දුම්වැටි සහ මත්පැන් ලබා දුන්නා... ඒ හැම වෙලාවේ ම ‘දුම්වැටි මුඛපිළිකා ඇති කරයි‘ කියල හරි ‘මද්‍යසාර දර්ශන දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමු විය හැකි යි‘ කියල නෝටිස් යන එක ටිකක් අප්පිරිය උණා.. අපේ මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යය ඕන් දැන් හරි කියල හිතාගෙන මේ වගේ වියදමක් රජය කළාට එයින් සෙතක් උණා කියල මට නං දැනෙන්නෙ නැහැ.. පාවිච්චි කරන එකාට ඕව අදාළ නැහැ... මට දැනුණේ ඒක සමහර දර්ශනවලට අවංක ව ම මහා වාතයක්... තුහ්...

අමිලයො උඹ කිව්ව හරියට හරි..  මේක කවුරුත් බලන්න ම ඕනි ෆිල්ම් එකක්...

- වික්ස් -



2 comments:

  1. mamanan sinhala film walata wadi kamattak na

    ReplyDelete
  2. ලංකාවේ සිනමාව ඩී. ආර්. නානායක්කාරව අගයලාම නෑ මම කියන්නේ. රඟපානවද කියල හිතාගන්න බැරි නළුවෙක් තමයි ඩී. ආර් .

    ReplyDelete