Friday, July 12, 2013

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන

දරුවෙක් වඩාගෙන එන විට මෑණි කෙනෙක්
පුටුවෙන් නැගි‍ට්ටෙයි ඒ මට හරි සතුටක්
ඉඳගන්නට කියා විමසා කරුණ කුමක්
හිත සතුටින් යවන එකමත් අමර සැපක්....

බුද දින සෙනග මැද හිදිනා ගැබිණි මවක්
දුටුවිට යමෙකු යොදවා ලැබ දී අසුනක්
පෝළිම මුල අයට නැත්තං විරෝදයක්
ගෙන්වමි ළඟට මගෙ මවු සම ඇයත් මවක්....

අත්සන් කරන විට කියවා ලිපි ගානේ
අකුරක දෙකක වෙනසක් දුටු එක සැනිනේ
ගෙන්වා කවුරු වුව පහදා දී අගුණේ
කරවමි ලිපිය නිසි ලෙස, නැත වෙනස් සෙනේ....

ඉඳහිට තාත්තෙක් අමතා දුරකතනේ
අනේ පුතේ කොහොමද දැන් කාලගුණේ
දූගෙ මාරුවට පිං පුත ඔබ යනෙන තැනේ
කිව්ව ම ඉතිං වෙන මොන සතුට ද ඕනේ....

නැත කිසි පාඩු ඉඳ හිට ගිය විටෙක දුර
විදුහල්පතිතුමා ගම මොරවැව උතුර
ගෙන්වා අලුත් දඩමස් උයලා ගෙදර
කන්නත් ගෙනත් දෙයි ඩියුටිය අතරතුර...

මුතූර් ගමට යන්නෙ පාසල වෙත ය
මුස්ලිම් ගමේ එකමෙක සිංහල හයිය,
ගුරුවරු ලැබෙන හින්දා පාමින් පිරිය
ඉස්සන් උයා දෙයි විදුහල්පති බිරිය....

මේ ඔක්කොම උණත් හිටි හිටි ගමන් එන
පිල්ලි ද අකුණු පහර ද අඩු නැත මෙතන
ගැබ්බර මවුන් ලෙස උව වෙස් මාරු උණ
කාලිය දුවන් එයි දුම්මල වරං ගෙන....

'දැං අච්චර දුරක මෙච්චර කලක හිට
කොච්චර කළත් සොච්චං පඩියකි මෙමට
යන්නට ඕනි දෙනවද මට දැන් යන්ට
නැත්තං සාප දෙමි තොට සහ පරපුරට....'

ඉක්මන් උණෝතින් වැඩ වරදින හන්දා
වැගිරෙමි පුටුව මත වාරුව එහි රන්දා
ගැබ්බර උණත් කට සැර වැර වැඩි හින්දා
විමසන්නට හිතයි ගැබ කවුරුන් සන්දා....

ඉර හඳ දකින මුත් අපි කරනා තාලේ
ඉඳ හිට ලැබෙන සතුටක් මිස නැත ආලේ
සාපය කිමද වදදෙන්නෙ තුන් වේලේ
සිංහලකම ද වෙන මොන අවුලද රාලේ..... 

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇඬෙනවා. සුපිරි . කියන්න වචන නෑ. ඔබේ අත්දැකීම් මැවි පෙනෙනවා. මහා සාහිත්‍ය දැනුමක් නැති උනත් මම කියන්නේ ඉතා උසස් නිර්මාණයක් කියලා. රසවින්ඳා ,

    "ගැබ්බර මවුන් ලෙස උව වෙස් මාරු උණ
    කාලිය දුවන් එයි දුම්මල වරං ගෙන" (y) නියමයි
    දිගටම ලියන්න

    ReplyDelete