Friday, July 12, 2013

නංගියි පිච්චපඳුරයි දියසුළියයි

ආං ගඟ අද්දරත් පිච්ච මල් පීදිලා
වට්ටියට කඩං එමු නංගියේ ගිහිල්ලා
පාන්දර ඉර එළිය මීදුමේ තැවරිලා
කොච්චරක් ලස්සනද බලමු අපි නැවතිලා....

කිති කැවෙන කොට මූණ මකුලු දැල් පැටලිලා
කෝපයෙන් මකුලු දැල් කඩන කොට ඔරවලා
කිරිපාට සුදු මූණ රතු වෙනව බල බලා
කාලයක් ඇති අපිට හිනැහෙන්න පෙරළිලා....

පින්න තැවරුණු සාය අගිස්සෙන් තෙත් වෙලා
රන් පාට දෙපා පොඩි වසාගෙන වැතිරිලා
ගින්නක් වගේ දෙයක් මගෙ හිතේ ඇති වෙලා
පින්සාර මූණ දැක දියවෙලා ගිහිල්ලා....

කඩන මල් නංගිගෙ අත උඩින් තියන ‍කොට
ඇඟිලි තුඩු අගිස්සෙන් පිස්සෙන්නෙ මගෙ මොකට
දොඩන ඇවිදින දකින හැම වෙලේ ළඟක හිට
සිඟිති මල් සුවඳක්ද දැනෙන්නේ මගෙ අවට....

කියන්නට හිතයි මට රහසකුත් කොඳුරලා
ළඟක හිට මට හීන පේනවා රෑ වෙලා
අත් අල්ලගෙන ඇවිත් පිච්ච මල් කඩාලා
ආරාමෙ ගියා අපි දෙන්න එක්කහු වෙලා....

වෙනදාට සිදාදියෙ මනාලයො ආ දාට
මට වගක් නෑ නඟා ඒ ගැන ම කිව්වාට
මන්ද මක්වෙලාදැයි මේ ළඟක ඉඳන් මට
පපුව නැවතෙනව වගෙ ඒ කතා ඇහු දාට....

පිච්ච මල් කඩාගෙන ආ‍රාමෙ අපි යමු ද
අත් අල්ලගෙන යන්න අපිට පුලුවන් නේද
හා ඉතින් දැන් නංගි මට කියන්නේ මොකද
ගෙදර කට්ටිය එක්ක ආවොත් කමක් නැද්ද....

ඩිංගි නැන්දා උණත් මට කැමති වෙයි නේද
නංගි එක්කං යන්න ආවොතින් දෙයි නේද
.
.
.
.
.
.
හීනයක්මයි තාම අද ඊයෙ වගෙ නේද
ගඟ පහල දියසුළිය තාම එතනම නේද....

බාගදා වෙලාවක මට මෙහෙම හිතෙනවා
නංගි හරි ආදරෙන් මගෙ ළඟින් ඉන්නවා
අම්මපා මට න‍‍ඟේ හුස්ම හිට දැනෙනවා
දියසුළියෙ මැද උඹව හොයන්නට හිතෙනවා....

No comments:

Post a Comment