Thursday, June 4, 2015

අපිට තව මොන පරිප්පු ද... නේ??

කොරියාවේ යාලුවෙක් ඉන්නව කිව්ව ගමන් අපිට සන්තෝසයක් දැනෙන හේතු ගණනාවක් තියෙනවා.. ඒකෙන් මං ඇතුළු බොහෝ දෙනෙකුට තියෙන රසවත් ම හේතුව තමයි ‘සෝජු‘....


කොහොම හරි මගේ අතිජාත මිත්‍රයෙක් දැනට අවුරුද්දකට විතර කළින් කොරියාවේ ගියා... හැබැයි හාදයා ගියේ ස්කොල් එකකට... වැඩිදුර අධ්‍යාපනය සඳහා... හැමදේ ම ගැන කතා වෙද්දි අපි අපිට ඒකාත්මික වෙන්න පුළුවන් මාතෘකා ගැන කතා කරන එක අපි දෙන්නගෙ පුරුද්දක්... අදත් එහෙම කතාවකට මුල පිරුවා...

‘මල්ලි කුඹුරක ගොයං කපන්න කලින් පරිප්පු හිටවල තියෙනව දැකල තියෙනවද‘ කියල මුන්දා මගෙන් අහනවා.. මං කුඹුරක පරිප්පු තියා නිකං පරිප්පු ගහක්වත් දැකල නැති එකේ උත්තර දීගන්න බැරුව හිටියා... කොහොම හරි අපේ චැට් එක අන්තිම වෙද්දි මං නොදන්න කෘෂිකාර්මික සංස්කෘතියක් ගැන බුද්ධික අයියා මට කියල දුන්නා...

බුද්ධික අයියගෙ රූම් මේට් නේපාල් කෙනෙක්... අපේ බුදු හාමුදුරුවො සිදුහත් බෝධිසත්තයො විදියට ඉපදිච්චි රටේ...

මේ රටේ පරිප්පු හදන්නෙ කුඹුරුවලමලු... ගොයං කපන්න සති දෙක තුනකට කළින් පරිප්පු ඉහිනවලු.. ඊට පස්සේ යන්තං පරිප්පු පැළ ඇදී ගෙන එන කාලේ වෙද්දිලු ගොයං කපන්න සෙට් වෙන්නේ... හැබැයි මේ පරිප්පුවලට පෝර මොකුත් ම දාන්නේ නැතිලු.. වතුරත් ඕනි වෙන්නේ නැතිලු..

(පින්තූරයක් හෙව්වා හෙව්වා හම්බ වෙලා නෑ...තිබ්බ නං පංකාදුයි අප්පා...)

මෙහෙම වවාගන්න පරිප්පු හින්දා එදිනෙදා ගෙදරට ඕනි කරන පරිප්පු කවදාවත් කඩෙන් ගෙනල්ලා උයන්න ඕනි වෙන්නේ නැතිලු... ගෙදර පරිභෝජනයට මේ විදියට කුඹුරෙන් ගන්න පරිප්පු ඕනිවටත් වැඩියිලු... ඒ එක්ක ම පෝරවලට වියදමක් යන්නැති හින්දා නිෂ්පාදන පිරිවැය ශූන්‍යයිලු... වතුර ගහන්න ඕනි කමක් නැති හින්දා ඒ ශ්‍රමයත් ඉතිරියිලු.. ගොයං ටික කපල ගෙට ගත්තට පස්සේ නිකං තියෙන කුඹුර හින්දා අමුතුවෙන් වගා බිම් හොයාගෙන දුවෑවිදින්න ඕනි නැහැල්ලු... ඇත්තනෙ...

මං එක්ක මේ ටික කියල බුද්ධික අයිය කියනව මේක අපේ රටට ඇප්ලයි කරන්න බැරිවෙයි ද කියලා...

මං මේ ලියන එකේ අරමුණ අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක නං නෙමෙයි... අප්පේ... හරියට හිතල බැලුවොත් අපිට කොයිතරං එව්වා මේ වගේ අතෑරිලා ගිහින් ඇද්ද???










මගේ පුතු මැරුණෙ නෑ...

'වාර්තාගත කිරීමේ දෝෂයක් විනා කිසිසේත් දරුවන් මාරු කිරීමක් සිදු වී නෑ' - රෝහල් අධ්‍යක්ෂ කියයි... -පුවතක්


අම්මෙකුට තමයි ඒ කිරි සුවඳ හරි පුරුදු
මිසී නෝනට ඉතිං මොකට මං කියනවද
හරි ම කිරි බරයි තව මගේ මේ තන දෙක ම
නෝනට ඉතිං කෝම ඒක ගැන දැනෙනවද...

ලොකු දූට තනියි අැති කියල අපෙ මහත්තය
අායෙ ගල් විහාරෙට බාරයක් ගැටගැහුව
පස්සෙ පහු සතියෙ හිට පාන්දර හැමදා ම
මගේ බඩ පෙරළ ගෙන චණ්ඩි කොලුවෙක් නැටුව...

අනේ.... මගෙ පපුව වාවන්නෑ නෝනා....

ඩියුටි යනකොට අනේ ළමයි කොහෙ හදන්ටද
කිය කියා කිය කියා නෝනෙ කෑගාන්නැති
දහදොලොස් පාරක් ම බඩ හේදු හන්දාම
නෝනට ඉතිං අායෙ දොළදුක් නැතුව වෙන්ටැ...

නෝනෙ හරි හදිස්සියෙ පෝරමෙ ලිවු හන්දා
පුතා ගැන විස්තරේ අනේ වරදින්ට අැති
හා කමක් නෑ නෝනෙ අපි ඉතිං මොක්කුන්ද
අපිට වාගෙයැ ඉතිං නෝනලට වැඩ එමට...

මගේ මැටි ගොන්කමට හිතෙන මේ හිතිවිල්ල
වැරදි නං දාස්වර මට සමාවක් දෙන්ට.

නෝනෙ මගෙ රන්කැටිය
තාම ඉන්නව නේද
හීනෙනුත් මට අැහෙන සද්දෙ පැටියගෙ නේද
ඔය වාර්තාඔලට අහුවෙන්නෙ නැතුවාට

තනේ කිරි හිඳුන්නැති රහස ඒකයි නේද....

Saturday, May 30, 2015

ගෙඩියට සහ පකට ඔබ්බේ යමක් අැත විමසන්න.

කොළඹ යුගයේ සාහිත්‍ය පුබුදුව අනුයමින් මහා සාහිත්‍ය සැණකෙළියක් සිරිලක් පොළව සිසාරා මුළු දුන් බව අප අසා ඇත. 1956 ඓතිහාසික භාෂා තීන්දුවෙන් පසු සිංහල බස කතා කරන්නන් අතිමහත් උද්යෝගයෙන් සාහිත්‍ය සයුර මැද උඩු යටිකුරු පිණුම් ගැසූ බව අප අසා ඇත. පේරාදෙණි බිමෙන් බිහි වූ සාහිත්‍ය චින්තනයේ ප්‍රහර්ෂය අපට පෙර පරම්පරාවේ සාහිතකාමය පුබුදු කළ බව අප අසා ඇත. ඊට ද පසු 1977 සහ පසුකාලීන විප්ලවවාදී නැගී සිටීම්වල දී ද සාහිත්‍යයේ කුදුමහත් සකලවිධ අංශයන් විප්ලවීය රසයෙන් සුවඳවත් වූ බව අප අසා ඇත. අපට ආසන්නතම මෑත අතීතයෙහි මෙකී විප්ලවීය රසය ගෙන ආ අප දකින සාක්ෂ්‍යකරුවන් වන්නේ නන්දා, සුනිල්, මාධව, පරාක්‍රම, ප්‍රේමකීර්ති ඈ සාහිත්‍යකරුවන් ය. නිර්මාපකයන් ය.

අප සමඟ සාකච්ඡා කරන බොහෝ දෙනෙකුට අද පැන නැඟී ඇති ගැටලුව වරක් මාර්ටින් ලූතර් කිං පැවසූ ආකාරයට මේ යුගයේ ඛේදවාචකය වනුයේ හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි. ලක් පොළොවේ බිහි වූ ඒ මහා සාහිත්‍යධරයන් අද කොතැන ද?

සමූහ දූෂණයට ලක් වූ නීතියත්, ආත්මාර්ථය උදෙසා වන දේශපාලනයත්, සල්ලාල ආර්ථිකයත් එක් ව මේ සාහිත්‍ය කතිකාව ගසා කෑ බව සාරාංශගත කළ විමසුමක දී හෙළි වේ. වත්මන් සාහිත්‍ය ලෝකයෙහි පවා අවාරෙට ඵල දෙන කොස් වැනි සාහිත්‍ය නිර්මාණ විනා බුද්ධිමත් සංවාදයකට සිංහල කියවන සමාජය මෙහෙයවන සාහිත්‍ය නැඹුරුවක් ඇති නිර්මාණ නොමැති තරම් ය. එසේ බිහිවන නිර්මාණ අතලොස්ස ද කපා කොටා, සමාජගත නොකිරීමේ කුරිරු පීඩනයන්ට හසු කර, රටින් පිටුවහල් කිරීමේ බියකරු බලධාරී පසුබිම ද අද අප ඉදිරියෙහි දක්නා යථාර්ථයයි. සිංහල කියවන සමාජයෙහි බුද්ධිමත් චින්තන ප්‍රවේශය සවිඥානික ව වන්ධ්‍යාකරණයක් සිදු වෙමින් පවතින බව ඉන් ඔබ්බට පැහැදිලි වේ.

තිස් වසරක යුද්ධයෙන් පසු ව දෙමළ පාඨක සමාජය හිස ඔසවන ඒ ප්‍රභාමත් හෝරාව දැන් එළඹ තිබේ. අළු ගසා දමා නැගිටින දෙමළ පාඨකයා කියවන්නට රසවිඳින්නට නිර්මාණ සොයති. එය සපයන්නට මහලු කවීහු කවි ලියති. ගත් කතුවරු වාර්ෂික ව පොත් කිහිපය බැගින් එළිදක්වති. ඒවා සාහිත්‍ය මණ්ඩපවල විචාරය කරති.
සිංහල සාහිත්‍යකරුවා අතින් සිදු නොවූ එක් වැදගත් කාර්යයක් අද්‍යතන දෙමළ සාහිත්‍යකරුවා මහත් අභිරුචියෙන් ඉටු කරමින් සිටී. පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධිගලනය නිරුත්සාහක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වුව ද පරම්පරා නිර්මාණ ශක්තිය එසේ ගලා යාමක් නොමැත. එය උත්සාහයෙන් සිදු කළ යුතු ය. එය සිදු කිරීමට නොපෙළඹීම ම සිංහල සාහිත්‍ය සම්ප්‍රදායේ ඉදිරිගමනට ප්‍රාමාණික බාධාවක් වූ බව අපගේ අදහසයි. 1950 දශකයේ පරම්පරාවෙන් පසු පරම්පරා වෙත මෙකී සාහිත්‍ය පුරුදු ගලා යාමක් සිදු නොවූ බැවින් අතලොස්සක් දෙනා හැරෙන්නට ඉතිරි ව ඇත්තේ රික්තයකි.

මෙය තත්ත්වාකාරායෙන් ම ග්‍රහණය කරගන්නා දෙමළ සාහිත්‍යකරුවා නූතන තරුණ පරපුරට සාහිත්‍ය පුරුදු දායාද කිරීමට ස්වේච්ඡාවෙන් පෙරට එති; ඔවුහු සාහිත්‍ය සමුළු පවත්වති; වැඩමුළු පවත්වති; තරග පවත්වති; ජයග්‍රාහකයන් අගයති. මෙය දකුණේ සිංහල සාහිත්‍ය ප්‍රජාවට සාපේක්ෂ ව ඉතා බැරෑරුම් ප්‍රගමනයක් ලෙස අපි දකිමු.

මෙම බුද්ධි දායාදය 1940 දශකයේ නිදහස් නෑඹුල් සිරිලක සිංහල සාහිත්‍ය පරපුරෙහි කෙසේ සිදු වී ද යන්න අපි නොදනිමු. 1950 දශකයේ සිංහල භාෂා පුබුදුවේ දී මෙම මඟ පෙන්වීම සිදු වී ද යන්න ද නොදනිමු. 1977 සහ පසුකාලීන විප්ලවවල දී මෙය සිදු නොවූ බව පමණක් දනිමු. එය සිදු වීම වැළැක්වීමට පැවති රජය සියලු තැත් දැරූ බව ද ලජ්ජාවෙන් සිහිපත් කරමු.

නමුදු පශ්චාත් යුද වාතාවරණයක මේ පිබිදෙන සාහිත්‍ය දායාදකරණය නම් වැළැක්වීම සිදු නොවිය යුතු ම ය. එය සිදු කෙරෙන තැන් දැනට නොමැති වුව ද ආණ්ඩුව දෙමළ බස නොදන්නා තාක් එය සිදු නොවෙනු ඇත. යම් දවසක මෙම සාහිත්‍ය ප්‍රබෝධයට වැරදි අර්ථකථන ලබා දී අහිංසක වීරකුට්ටි කවියා තවත් ප්‍රේමකීර්ති කෙනෙක් කරන්නට කාගේ හෝ අදිසි හස්තයකට අවකාශ සහ ආශාව ඇති විය හැකි බව අපට දැනේ.
සිංහල සාහිත්‍යය වල් වැදී හමාර ය. පරම්පරාවෙන් පරම්පරාවට සාහිත්‍ය පුබුදුව ගලා යාම සිදු නොවීම එයට මූලික ම හේතුව විය. එසේ නම් දමිළ සාහිත්‍යය ද එසේ ම වල් වැදීමේ අවදානම සකල ශ්‍රී ලාංකිකයා ඉදිරියේ ඇත. එම අවදානම බැහැර කිරීම දෙමළාගේත් සිංහලයාගේත් පරම යුතුකම වන්නේ ය.


වැලි ගොඩවෙද්දි ගිලෙන ජීවිත

.
විත්තිකරු -
බලපත්‍ර රහිත වැලිගොඩ දමන්නා ය...
නම විදානෙ ගමරාළලාගේ රෝහිත බුද්ධිකයි
වයස අවුරුදු තිස් දෙකයි රස්සාවට අවුරුදු විස්සයි
පැමිණිලිකරු -
බලපත්‍ර ලාභි වැලි බිස්නස්වරයා ය...
(ගරු කියල මුලට දාගන්නවා ළමයා)
නම පත්මනායක මුදියන්සෙලාගේ දොන් පංකජ කසුන් බණ්ඩාර ය
වයස අවුරුදු විසිපහක්කත් නෑ රස්සාවක් ඒහෙම ම කියලත් නෑ බිස්නස් ම තමයි මයි ලෝඩ්
.
.
පැමිණිල්ල -
තෑන්ක්ස් මයි ලෝඩ් ...
නෑ ස්වාමිනී, අපිට ඒහෙමම කියල ඉල්ලන්නෙ නෑ...
මේ රෝහිතලගෙ යුනියන් ඒකෙන් තමයි ටිකක් අරියාදු... දන්නැද්ද ගංවල අයනෙ... රිඩිකියුලස්...
යස් යස්... තෑන්ක්ස් ... තැන්කියු වෙරිමච් මයි ලෝඩ්....
අපේ ලේබර්ස්ලට ඒන්ට දෙනවනං වැඩට ඒ අැති...
පිට ගංවල අය කියල මෙයාලා අකමැති නං අපි ගමේ මල්ලිලා උණත් අපි ළඟ වැඩට ගන්න ලෑස්තියි... රස්සාවක්නෙ ඉතිං...
.
විත්තිය -
අඟලක්කත් මටත් ඔන්නෑ සුවාමිනී...
ඔය කොහොඹ ගහ අපේ තාත්ත ගඟේ ඔෆිස්සෙකේ බොසා කාලෙ
මං ඉන්දෝපු පැළැහැට්ට...
අම්මා රොටීයි තේ ජොග්ගුවයි අරගෙන අාවා ම අපි ඔතන ඉඳං  තමයි කෑවෙ...
ඒක පට්ට අාතල් කාලයක් සුවාමිනී...
ඔ්වා කොහොමත් අපේ...
අපි මළත් ඔව්වා අපේ...
පොඩ්ඩක් මට අවුල් ගියෙ අර අලුත් කට්ටිය ඒක්ක අාව කජු නිමල් දවසක් උදෙ මං ගඟට ඒද්දි ඔය කොහොඹ ගහට හුජ්ජ කරනවා මං දැක්කා...
අපි වඳින පුදන ගස්නෙ අප්පා... ගඟෙ වතුර වැඩි වෙද්දි අපි ඔය කොහොඹ අතුවල තමයි පඬුරු ගැට ගහන්නෙ...
අනික කජු නිමලුයි මමයි මෙතන ඉන්න ප්‍රභාත් රාළහාමියි පිරිවෙනේ ඒක පංතියෙ හිටියෙ... මමයි නිමලුයි ඔ්ලෙවල් ගණං පේල් උණා... ප්‍රභාත් පාස් උණා...
මං ගඟට ට්‍රාන්සර් උණා තාත්ත පැන්ෂන් යද්දි... නිමල් පංකජ සර්ලෑ බිස්නස්වලට සෙට් උණා... ප්‍රභාත්නං දැක්කෙත් ගොඩ කාලෙකට පස්සෙ...
(නඩුවට අදාළ නොවන විෂය පථයන් කෙරෙහි යොමු වෙමින් විත්තිය විසින් හිතාමතා ම ගරු අධිකරණයේ කාලය නාස්ති කිරීම පිළිබඳ පැමිණිල්ලෙ විරෝධය ගරු අධිකරණය පිළිගන්නවා..)
පර්මිට්ටෙක නං තාම සෙට් උන්නැත්තෙ ඔෆිස්සෙකෙන් ඒක තාම දුන්නැති හින්දා...
ගඟේ රස්සාව කරන අපෙ අයගෙ යුනියන් ඒකෙන් මං දිගට හරහට ඉල්ලීම් කළා...
සර්ලා හැමදා ම ෆීල් ඩියුටිලු සුවාමිනී...
අපිට වගේයැ ඒ සර්ලට...
.
(සාක්කිකරුවන් සිටී ද)
.
1 සාක්කිකාරිය
හැතපුම් 40ක් අෑත නගරයේ වැඩ වාසය කරන දේශපාලන දේව දූතියකි
නම පී.ඒම්. ගණේශ්වරී ඔසැන්ඩ්‍රා කුමාරිහාමි ය
වයස පනස් හතයි රැකියාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී (ඔව්වොව් සමාජවාදී... අැහෙන්නැද්ද ඔය ළමයගෙ කණ) ජනරජයේ අසුවල් නියෝජ්‍ය අැමතිනිය ය
(හරියට ලියඋනා නේද ළමයා??).
2 සාක්කිකරු
නම පතිරණගෙ ප්‍රභාත් ශාන්ත අංක හතළිස්හතයි පනස්තුනයි අට...  
වයස ...............
(දෙවෙනි සාක්කිකරු වන තමා මෙය දුටුවා ද?)
විත්තිය කියන කතාව නිවැරදි නෑ...
මං ඒ වෙලාවෙ රෝහිත ව අත්තඩංගුවට ගත්තෙ බලපත්‍රලාභියාගෙ අණක් හන්දා නෙමෙයි...
(විත්තියෙ විරෝධය මේ ගරු - ගරු අධිකරණය භාර නොගන්නවා)...
මැඩම් තමයි කිව්වෙ අැරෙස්ට් කරන්න කියලා...
මං ලබන බැච්චෙකෙං ප්‍රමෝෂන් යන්න ඉන්නෙ ස්වාමිනී... ඔව් ඒක අැත්ත....
.
.
විත්තිකරු -
වැරැද්ද පිළිගන්නං සුවාමිනී...
ඔය පෑනත් කඩලා දාන්න සුවාමිනී...
මං සුභානියි පොඩි ඒවුවො දෙන්නයි මරල පයිනව කලු ගඟට සුවාමිනී...
ඔය පෑන කඩල දාන්න...
අර උලව් පර්මට් ටික මගෙ පෙට්ටියට දාන්න කියලා සර්ලට කියන්න සුවාමිනී... අම්මගෙ රෙද්ද
.
(ලියාගන්නවා ළමයා... ගරු අධිකරණයට අපහාස කිරීමෙ වරදට විදානෙ ගමරාළලාගේ...... )


රත්තරං එ. රත්තරං (පළමු කොටස)

කවදාවත් නැතුව රත්තරං ගෙදර දුවං ආවෙ 'පොඩි පුතේ' ගාගෙන... සුවර්ණා සාය තනමත්තට ඇඳගෙන රෙදි හෝද හෝද හිටියෙ.. රත්තරංගෙ කටහ‍‍‍ඬේ මොකුත් නමුත් අමුත්තක් ඉවෙන් දැනිලා වගේ සුවර්ණා ‍‍හෝද හෝද හිටිය සරම බේසමට අතෑරලා දාලා ගේ ඉස්සරහ පැත්තට දුවගෙන ආවා.
රත්තරංගෙ අතේ තිබුණේ හබල දඩස් ගාලා පැත්තක ගොඩ ගහල තිබ්බ බොලොක්ගල් ගොඩ උඩට විසි කරනවා සුවර්ණා බලං හිටියෙ ඇස් උඩ තියාගෙන... කවදාවත් මාලු පාඩුවට හයිය දෙන හබල ඔරුවෙ තනියෙන් දාලා එන පුරුද්දක් රත්තරංට තිබ්බෙ නෑ... හැමදා ම උදේ ගෙට ගොඩ වෙද්දි හබල බිත්තියට හේත්තු කරල හරි ඉක්මන් තප්පර ගාණක් අනිමිස පූජාවක් තියන එක රත්තරංගෙ පුරුද්දක්...

මොකක් හරි අමුත්තක් කියල සුවර්ණට තේරුණත් ඒ මොකක්ද කියල අහන්න ඉක්මන් උණේ නෑ. ඇත්තම කියනව නං සුවර්ණට ඇයි මොකද කියල අහන්න කට හො‍ලෝගන්න බැරි තරමට පුදුමෙකිනුයි සුවර්ණ තක්ගැහිලා හිටියෙ..
'පොඩි පුතේ...'
රත්තරනුයි සුවර්ණයි සමීරට එහෙම කතා කළාට තව ලොකු පුතාලා රත්තරංට හිටියෙ නෑ. කසාද බැඳලා අවුරුදු ගාණක් පෙරුම් පුරලා පෙරුම් පුරල බාරහාර වෙලා වතාවත් කරාට පස්සෙ ඉපදිච්ච කොල්ලට 'පොඩි පුතේ' කිව්වෙ දෙන්න දෙමාල්ලන්ගෙ තිබ්බ ඉහවහා යන ආදරේ හින්දමයි.

'පොඩි පුතේ මෙහෙ වරෙං..'
සමීර තාත්තගෙ ඔඩොක්කුවට පැන්නෙ එක පිම්මට. ඉන් එහාට සමීරට රත්තරං මොනා කිව්වද කියන එක සුවර්ණට අහං ඉන්න හම්බුණේ නෑ. රත්තරං රැවුව රැවිල්ලට සුවර්ණගෙ වටපිටාවෙ තිබ්බ ඔක්කොම පඳුරු ටික ගිනිගන්නව වගේ සුවර්ණට දැනුනා. පය ඉක්මන් කරල ආයි ලිඳ පැත්තට ගියෙ ඔන්නොහෙ ඕන මගුලක් වෙච්චාවෙ කියල හිත හදාගෙන.
*** *** *** ***
ඊ‍යෙ හැන්දෑවෙම රත්තරං මාලු පාඩුවට ගිය වෙලේ ඉඳං පොඩි පුතාගෙ ඔලුව අතගගා සුවර්ණා කල්පනා කළේ රත්තරංගෙ අම්මලට ඕනි විදියට ජීවත් වෙනවද නැත්තං පොඩි පුතයි රත්තරනුයි එක්ක කොහේ හරි ගිහිං ජීවත් වෙනවද කියන එකයි.

මුලිම්ම සුවර්ණට රත්තරංව හම්බ උණේ අහුවල් දවසේ ය කියන්න හරියට නිච්චියක් දෙන්නට ම නෑ. පොඩි එකා සන්දියෙ ඉඳං දෙන්න වැව් පිට්ටනියෙ කෝම්පිට්ටු හදන හැටි සුවර්ණට මතකයි. හැමදා ම සුවර්ණගෙ  සෙල්ලං ගෙදර තාත්ත වෙන්න රත්තරං දුවගෙන ආවෙ වැව්බොක්කේ අනිත් කොල්ලො එක්ක රණ්ඩු වෙවී. අන්තිමට වැව්බොක්කෙ කොල්ලො එක්කෝ ම හිතුවා සුවර්ණගෙ සෙල්ලං ගෙදර තාත්ත වීමේ පරම අයිතිකාරයා රත්තරං මිසක් තමන් එකෙක්වත් නෙමෙයි කියලා. සුවර්ණත් මූණිච්චාවට නොපෙන්නුවට රත්තරං තමංගෙ සෙල්ලං ගෙදර තාත්ත වෙනවට කැමැත්තෙන් හිටියා. අනිත් කොල්ලො ටික සෝමාරිකොමට කමිස කෑලි බැනියං කෑලි ගහගෙන හිටියට රත්තරං හැමදා ම වැව්පිටියට ආවෙ කොට කලිසමක් විතරක් ගහගෙන. ඒ හයිකාරකම ගැන පුංචි සුවර්ණට මහ මොකද්දෝ අමුතු ආසාවක් තිබ්බා. 

අන්තිමේදි සුවර්ණගෙ සෙල්ලංගෙදර තාත්ත වෙච්චි පුරුද්දට රත්තරං සුවර්ණ එක්ක වෙනම ගෙයක් හදාගෙන තාත්ත කෙනෙක් වෙන්න ලකලෑස්ති උණේ අවුරුදු අටකට විතර කලින් ඇසළ මාසෙ දවසක.
‘එදා ඉඳම්ම ඔය මිනිහ ඔහොමමයි. පිරිමි ගාය විතරයි. දෙයක් කල්පනා කරලා හිතල මතල කරන්න කියල වගේ වගක් නෑ. මම එපෑ නැන්දම්මලයි වැව්බොක්කේ එවුවොයි එක්ක හැප්පෙන්න.‘

සුවර්ණ බාල්දියෙ තිබ්බ වතුර ටික බේසමට දාන ගමං තමන්ට ම කියාගත්තා...
‘චකස්‘...
බාල්දිය ළිඳේ වතුර උඩට වැටිලා ඔහේ පාවි පාවි තිබ්බා... ලණුව අතිං අල්ලල දෙපැත්තට ගස්සලා ප්ලාස්ටික් බාල්දියට වතුර පුරවගන්න සාත්තරේ සුවර්ණ දැනගෙන හිටියත් අද සුවර්ණ බලාගෙන හිටියෙ     ‘කවද හරි උඹ වතුරෙං පිරියං.. ඕං එතකොට මං උඹව ගොඩ ගන්නං‘ කියන්නැහෙ...
‘පොඩි පුතේ.. මං යනෝ... හැන්ඩියා ආවොත් සල්ලි වගයක් දෙයි... අරං තියාපං...‘
සමීරට තේරෙන සල්ලි තියා... සුවර්ණ යටි හිතිං හිතුවා... රත්තරං සුවර්ණ එක්ක නෝක්කාඩු වෙච්චි වෙලාවට එක එක වැඩ කරන්න පවරන්නෙ සමීරට... ඒ සුවර්ණට කෙළිං කියන්න බැරි කමට මිසක් සමීරට ඔය වැඩ පුලුවන් කියල මෝඩ පහේ අදහසකින් නෙමෙයි.... සුවර්ණ ඒ ගැන අවුරුදු දහතුනක අත්දැකීමෙන් දන්නවා...
රෙදිටික හෝදලා සුවර්ණ ළිඳ ගාවින් මෑත් උණේ නැන්දම්ම වළං දෙකතුනක් අරගෙන ළිඳ ගාවට එන දිහා හොර ඇහෙන් බලාගෙන...
‘ළිං ගාව ඉඳුල් හෝදන්නෙ රොඩියො...‘
දවසක් සුවර්ණ නැන්දම්මගෙ මූණට ම කිව්වෙ අවුරුදු ගාණක් ඉවසල ඉවසල බැරි ම තැන... ඒත් නැන්දම්ම නෙමෙයි ඒව කණකටවත් ගත්තේ...

‘පොඩිපුතේ... තාත්ත කොහෙද ගියේ...‘
‘දන්නෑ...‘
‘මොනවද කියල ගියේ..‘
‘මුකුත් නෑ...‘

හොරහිත.. තාත්තගෙ පුතානෙ... 

අම්මා




හැන්දෑවට කඩාගෙන
හන්දියේ කඩෙන්
පාන්ගෙඩි මල් දෙකක්
වඩින්නී පොඩිපැළට
කිරිබර තනැත්තියක වී
හඬන කුරුලු පැටවුන්ට...

කෙඳිරිය නැගෙන පපුවක
අලුපාට උණු මයිල්ගස් අතර
වින්ටජිනෝ ගල්වා
දිගෑදෙන්නී ඒ පැදුර මත ම
සෙනේබර ළයැත්තියක වී
මියැදෙන පිරිමි මිනිසාට...

ගාමන්ට්ටෙකේ දුක මහන
දහසක් කඳුලු ඇස් වෙත
හිනාවක් වීසි කර හිනැහෙන්නී
අහුනොවෙන්නට
කණිපින්දං නඟන සුපවයිසර්ට...

මට කවිය හමුවන වේලාව....

වසාගත් විට ඇස් පිය තරකොට
පිටත කිසිදු ශබ්දයක් නොඇසෙන තරම්,
කලුවර අතරින් එවිට ය
මගේ කවිය මට ඇසෙන්නේ නෑහෙන සරෙන්...
...
ඉල්ලීමකුදු නොමැති ව පැමිණෙන
වසන්තය නික්ම ගිය දින ඉඩෝරයක
සීතල වැහි බිඳක් වැටෙන විට ය
මගේ කවිය මට ගලන්නේ සෙමින් සෙමින්...
...
ගලා යන දිය රැල්ලකට එදිරි ව
ගඟ දියත සවිමත් ව
පිය එසැවෙන විට ය
මගේ කවිය මට දැනෙන්නේ මුදු ව තිර ව...
...
කවුරුන්ට නොදැනෙන පෙදෙසක
මට ම පමණක් දැනෙන ජීවයක් ගැන
කිසිවෙකුට නොදැනෙන විට ය

මගේ කවිය මට මැවෙන්නේ පණැ‘ති ව...