Saturday, May 30, 2015

දීපදෝ චක්ඛුදෝ හෝති


ලංකාවේ සංවර්ධනය සහ එහි සංස්කෘතිය යනුවෙන් මට හැඟී යන්නේ කිසිදිනෙක එකිනෙක ස්පර්ශ නොකෙරෙන රේල් පිහිලි දෙකක් මිස අන් කිසිවක් නොවේ. සංස්කෘතිය විෂයයෙහි රටක සංවර්ධනයක පදනම උදෙසා යොදා ගත හැකි මාහැඟි අගයයන් තිබිය දී එම විෂය පථය රටේ අභිවර්ධනයට මහා බාධකයක් කොට ගන්නා තැතක් මිස අන් කිසිදු සැබෑ ආයාසයන් නොදැකීමට තරම් අපේ පරපුර වත්මනෙහි අසරණ ව සිටින්නෙමු.
මෑතක හටගත් ආගමික වියරුව එහි ම එක්තරා දිගුවක් ලෙස බුද්ධිමත් මිනිසා දකියි. එය රටේ සමස්ත ඉදිරි ගමන අඩාල කරන්නක් විනා අන් යමක් නොවන බවත් එය සංස්කෘතිය වැරදි ලෙස කියැවීමෙන් ජනිත වන අලසකමක් වන බවත් බුද්ධිමත් චින්තනයයි.
සංවර්ධනය කෙරෙහි සංස්කෘතියේ බලපෑම ඉස් මුදුනින් පිළිගන්නා චීන, ජපන් මෙන් ම මෑතකාලීන ඉන්දියානු චින්තන ධාරාවන් දෙස බලන විට පෙනී යන්නේ දරදඬු සංස්කෘතීන් තීක්ෂණ දේශපාලන ආර්ථික ඥානයෙහි දෘඪ - කපට හස්තයට හසු කරගනිමින් එය කදිමට මෙල්ල කරගත් ගවයෙකු මෙන් සංවර්ධනයේ ගැල් ගමනට සහයෝගයක් ම කරගැනීමේ අපූර්වත්වයයි. ඔවුන්ගේ සංවර්ධන ගමන් මගෙහි තැන් තැන්වල අතැර ගිය සංස්කෘතියෙහි ඡායාවන් විචක්ෂණශීලි විමර්ශකයාට හමු නොවන්නේ ම නොවේ. නමුදු, ඒ වූ කලී සංවර්ධනය ඉලක්ක කොටගත් ගමනක දී සංස්කෘතියෙන් අනිවාර්යයෙන් ම බැහැර හළ යුතු කැලිකසල විනා වැළඳ ගත යුතු මහා අගයන් නොවේ. ආගම් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම් අනුව සැම විට ම හළ යුතු දේ හළ යුතු ය. එමෙන් ම ඉහත කී ප්‍රගතිශීලි චින්තන ධාරාවන් බිහි කරවූවන් ගඟෙන් එතෙර ව ඔරුව කරතියාගෙන ගොඩ බිම ඇවිද යන්නන් නොවී බැහැර කළ යුතු දේ නිසි වේලාවට බැහැර කරති. සංස්කෘතිය සංවර්ධනය සමග මුසු කිරීමේ දී ද ඒ ක්‍රියා පිළිවෙත ම අනුගමනය කරති. එයයි, ඔවුන්ගේ සංවර්ධනයේ අඩිතාලම වන්නේ. සංස්කෘතියෙන් පදනම් සොයා සපයා ගෙන එය මත සංවර්ධනයේ සවිමත් අඩිතාලම් දමන ඔවුහු එකී සංස්කෘතියෙහි ම එල්බ සිට ගෙන සිය සංවර්ධනය නසා ගැනීමට තරම් මූඪ නොවී දැය ගොඩ නඟති.
ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ බොහෝ රටවල් මතුනොව මුලු ලොව ම, අනාගතයේ බලවත් බල අර්බුදයකට මුහුණ දෙන බව ඒ ඒ දෙසින් ඇසෙන මුත් මෙකී අර්බුදයට පිළියම් අපගේ ප්‍රතිපත්ති සම්පාදකයන් සතු ව තිබේ ද? විදුලි ජනනය පිළිබඳ ව විධිමත් අර්ථ ශාස්ත්‍රානුකූල ප්‍රවේශයක් නොමැතිකමින් එක් ආකාරයකට පාෂාණීභූත වන මෙරට අනාගත පරපුර එකී ගැටලුවට සපයන හිතලු විසඳුම් සහ යෝජනා ගොහොරුවක අනෙක් පසින් ගිලෙමින් පවතී.
විදුලිබල අර්බුදයට දිගු කාලීන විසඳුමක් ලෙස බලදරුවන්ගෙන් ලැබුණේ වත්මන් අඩු පරිභෝජනය අනාගත පරිභෝජන අවශ්‍යතාවට විසඳුම් වේයන බොළඳ උපදෙසයි. මෙහි වඩාලාත් සංකීර්ණ තත්ත්වය පෙනෙන්නේ අඩු පරිභෝජනය යන්න අර්ථ දැක්වෙන්නේ කුමන ඉලක්ක ප්‍රජාවන්ට අදාළ ව ද යන්න විමසන විට ය. ධනාත්මක චින්තකයින් සහ නළු නිළි කැළ හෙට දවසේ විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන් නිවෙස්වල ඔහේ පත්තුවෙනවිදුලි බුබුලු නිවා දමන්නැයි මාධ්‍ය ඔස්සේ හඬ පට නිකුත් කරති. වීදි නාට්‍ය ප්‍රදර්ශනය කරති. සම්මන්ත්‍රණ - දේශන පවත්වති. ඉන් ඉතිරි කරගත හැකි මුදල් ගණනය කර පෙන්වති. හුදී ජනයා ද මුව අයාගෙන බලා හිඳිති.
නමුත් බුද්ධිමත් ජනයා මෙය ප්‍රශ්න කරති. මේ තිබෙන්නේ සැබෑ බල අර්බුද විසඳුම් ද?‘ යන පැනය ඔවුන්ගේ සිත් තුළ නැගේ. වාච්‍යාර්ථයෙන් ම එය කදිම පැනයකි.
ජාතික විදුලිබල නිෂ්පාදනයෙන් ඒ ඒ අංශවලින් විදුලිබල පරිභෝජනය කරන අයුරු මෙහිලා වැදගත් වේ. ජාතික විදුලිබල පරිභෝජනයෙන් යම් සැලකිය යුතු ප්‍රතිශතයක් කර්මාන්ත අංශයේ පරිභෝජනයට යෙදවේ. එසේ ම රජයේ ආයතනවලින් ද විදුලි පරිභෝජනය සිදු වන අතර රට පුරා ව්‍යාප්ත ව ඇති ආගමික සිද්ධස්ථාන සඳහා ද සැලකිය යුතු ප්‍රතිශතයක විදුලි බල පරිභෝජනයක් සිදු වේ. එසේ ම කුඩා මට්ටමේ ව්‍යවසායකයන් විසින් ද ගෘහ ඒකකයන් විසින් ද අවශේෂ විදුලිබල පරිභෝජනය සිදු කෙරේ. (කමන්න, අප වෙත සංඛ්‍යාලේඛන නොමැත. නමුදු මෙය එක, අට, දහතුන වශයෙන් නොපෙන්වුව ද පැහැදිලි තත්ත්වයක් බව අපේ හැඟීමයි.)
අඳෝමැයි....!
නත්තල් සමයට කිතුණු පල්ලිවල දින ගණන් රැය පුරා විදුලි බුබුලු දල්වති. වසරකට අවම වශයෙන් සති දෙකක්වත් හින්දු කෝවිල්වල රැය පුරා විදුලි බුබුලු දල්වති. රාමසාන් මාසයට පමණක් නොව බොහෝ මුස්ලිම් පල්ලිවල රැය පුරා විදුලි බුබුලු දල්වති. දීපදෝ චක්ඛුදෝ හෝතියි කවි කියමින් සම්මාදම් කරමින් පන්සල්වල පොහෝ දින රැය පුරා විදුලි බුබුලු දල්වති. මෙහි එක් ආගමකින් කුමන ප්‍රතිශතයක් විදුලිය පරිභෝජනය කළේ ද යන්න සෙවීම මුග්ධ ක්‍රියාවකි. සිදු ව ඇත්තේ ආගමික සිද්ධස්ථානයන මැයෙන් ජාතික විදුලිබල පරිභෝජනයෙන් යම් සැලකිය යුතු ප්‍රතිශතයක් පරිභෝජනය කර තිබීමයි.
ඉහත කී අංශවලින් කර්මාන්තශාලා සහ කුඩා ව්‍යවසායකයන්ගෙන් විදුලි පරිභෝජනය සඳහා අයකිරීම් සිදු වන්නේ අනෙකුත් අයකිරීම්වලට සාපේක්ෂ ව ඉහළ අගයන්ගෙනි. හෙවත්, අනෙක් පරිභෝජනයන්ට වඩා වැඩි මිලකට මෙකී අංශ දෙකෙහි පාරිභෝගිකයාට විදුලි ඒකක විකිණීම සිදු වේ. නමුත් ගෘහ ඒකකවල විදුලි බල පරිභෝජනයට ද වඩා අඩු මිලක් ආගමික සිද්ධස්ථාන සඳහා පරිභෝජනය වන විදුලි ඒකක සඳහා නියම කර ඇත. මෙය නිවැරදි විමර්ශනයකට හසු වන අවභාවිතයක් බව අපගේ හැඟීමයි.
මක් නිසා ද යත්, රටෙහි සංවර්ධනය වර්තමානයේ මුලුමනින් ම පාහේ රඳා පවතිනුයේ කර්මාන්ත අංශයෙහි බව ආර්ථික මුලාශ්‍රය භාවිතයෙන් පැහැදිලි වේ. සංවර්ධනයට උර දෙන කර්මාන්ත අංශය විදුලි පරිභෝජනයට වැඩි මුදලක් ගෙවන්නේ තවත් නන් වැදෑරුම් බදු ගැසීම්වලට ද ලක් වෙමිනි.
ගෘහීය ජන ජීවිතය කරුමයක් වී ඇති වර්තමානයේ දහසකුත් එකක් වියදම් මැද ලක් වැසි සැදැහැවත් හුදී ජනයා තමන්ගේ විදුලි බිල අමාරුවෙන් හෝ ගෙවා දමති. විදුලිබිල ගෙවා නිවසට එන අතර මග පන්සලට, පල්ලියට, කෝවිලට ගොඩ වී පිං පෙට්ටියට කාසි කිහිපයක් හෝ දමති.
පිං පෙට්ටියේ එකතු වන මුදලත්, පුණ්‍යාධාර සියල්ලත් එකතු කරගන්නා භාරකාර තැන තම ආගමික සිද්ධස්ථානය තව තව සංවර්ධනය කරන්නේ අධ්‍යාත්මික සුවය වැඩි වැඩියෙන් ලබා දීමට විය හැකි ය. තවත් විදුලි පහන් එකතු කරන්නේ සිද්ධස්ථානයේ බැබළීම වැඩි කිරීමට ය. එය සංස්කෘතියේ ගුණය විය හැකි ය. නමුත් අප වෙත ඇති අදහස නම් මෙය සංවර්ධනය විෂයයෙහි සංස්කෘතියත් අසේවනය විය යුතු අවස්ථාවක් ලෙසයි.
ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ආගමික සිද්ධස්ථානවලින් විදුලි පරිභෝජන ඒකකයක් සඳහා අඩු මිලක් ගෙවිය යුතු බවට තීරණය කිරීම සංවර්ධනයට සහායක් ද බාධාවක් ද යන්න පැහැදිලි වේ. එම සහනයෙන් උද්දීපනය වන ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යන්නන් ආගමික සැදැහැවතුන්ගේ - හුදී ජනයාගේ - පුණ්‍යාධාර ද එකතු කොට ගනිමින් මහ රෑ පහන් වන තුරු විදුලි බුබුලු දල්වමින් සිදු කරන්නේ කුමන ආත්ම ගවේෂණයක් ද යන්න විමසිය යුතු ය.
මේ සියලු ලියවිල්ලක ම විකල්ප චින්තන ධාරාවක සේයා ඇඳිය යුතු බව අපට හිතැත්තන් අපට පවසා ඇත. නමුදු මේ ප්‍රශ්තුතයට අදාල ව අප වෙත විකල්ප නොමැත. අපි ද මේ තත්ත්වය ඉදිරියෙහි අසරණ ව සිටිමු. නමුදු එක් දෙයක් පැහැදිලි ය. මේ යන ගමන සංවර්ධනය වෙත දිවෙන්නක් නොවේ. එය වෙන කොහේ හෝ ඉබාගාත ගමනක් විය හැකි ය. සංවර්ධනය ඉලක්ක වූවක් නම් නොවේ. නැවත ද කියමි.
තව ද, පහනක් පත්තු කළ විට දැනෙන ආනන්දය විදුලි බුබුලක් පණ ගැන්වීමෙන් නොලැබූ බව අත්දැකීමෙන් සිහිපත් කරමු.


No comments:

Post a Comment